සලෝචන ගමගේ යළි රිමාන්ඩ්

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) නියම කර තිබෙනවා.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මෙම නියෝගය සිදු කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 27 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග  කරයි.

කොළඹ ටොරින්ටන් ඇවනිව් හි පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේදී ලැබිය යුතු වන්දි මුදල් කඩිනමින් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේදී මෙම සැකකරුවන් දෙදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන  තිබෙනවා  .