හර්ෂණගේ නමට ආචාර්ය පදවියක් එක්කිරී​මේ සිදුවීම​ට ප්‍රකාශ ලබාදීමට නිලධාරීන් පිරිසක් අද CID යට

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනෙකු අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ උසස් නිලධාරියෙකු ඇතුළු කිහිපදෙනෙකුට එම කැඳවීම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු කිහිපදෙනෙකු මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා.
පසුගියදා අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකළ අතර ඊට අදාළ විමර්ශන ආරම්භ කරුණු ලැබීය.