වසර 40කට පසු පාකිස්ථානයට රන් පදක්කමක්
පැරිස් ඔලිම්පික් උළෙලේ ඊයේ (08) පැවති පිරිමි හෙල්ල විසිකිරීමේ තරඟයේදී පාකිස්ථානයේ මලල ක්‍රීඩක අර්ෂාඩ් නදීම් වසර 32කට පසු එරටට ඔලිම්පික් රන් පදක්කමක් දිනා දෙමින් ඉතිහාසගත වාර්තාවක් පිහිටවා තිබෙනවා.
නදීම්ගේ පළමු විසි කිරීමේදී ඔහු නුසුදුස්සකු වූ නමුත්, දෙවැනි විසි කිරීමේදී මීටර් 92.97ක දුරක් වාර්තා කරමින් රන් පදක්කමක් ලබාගත් පළමු පකිස්ථාන මලල ක්‍රීඩකයා බවට ඔහු පත්වූවා.
ඒ අනුව, 2020 ටෝකියෝ ඔලිම්පික් ශූර ඉන්දියාවේ නීරාජ් චොප්රා රිදී පදක්කම දිනා ගත් අතර, ඔහු මීටර් 89.45ක දුරක් වාර්තා කර තිබෙනවා.
එමෙන්ම ග්‍රෙනේඩියානු ක්‍රීඩක ඇන්ඩර්සන් පීටර්ස් මීටර් 88.54ක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනාගෙන තිබෙනවා.
මේ අතර, 1992 දී බාර්සිලෝනාහිදී පැවති ඔලිම්පික් උළලේදී නෙදර්ලන්තයට එරෙහිව ජයක් ලබා ගනිමින් පකිස්ථාන හොකී කණ්ඩායම ලෝකඩ පදක්කමක් දිනා ගැනීමෙන් පසු ඔවුන් ඔලිම්පික් පදක්කමක් දිනාගෙන වසර 32ක්.
එහෙත් පකිස්ථානය අවසන් වරට රන් පදක්කමක් දිනාගෙන ඇත්තේ 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ පිරිමි හොකී අවසන් මහා තරගයේදී බටහිර ජර්මනිය පරාජය කරමින්.
ඒ අනුව, වසර 40කට පසු පකිස්ථානයට ලැබුණු ප්‍රථම රන් පදක්කම මෙයයි.
පෙර සියලු පදක්කම් හොකී ක්‍රීඩාව හරහා ලැබී ඇති නමුත්, ඒක පුද්ගල තරගයක් සඳහා ලැබුණු ප්‍රථම රන් පදක්කම මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.