ඉන්ධන බෙදාහැරීම හා ඇනවුම් කිරීමේ කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි

ඉන්ධන බෙදාහැරීම හා ඇනවුම් කිරීමේ කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
පසුගිය සිකුරාදා තෙල් බෙදාහරින්නන්ගේ සංගමය කළ ප්‍රකාශයකින් ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් මහජනතාව තුළ යම් නොසන්සුන්තාවක් ඇතිවුණා.
ඉන්ධනවලට ලැබෙන බදු මුදලින් අනීතික ලෙස සියයට තුනක වට්ටම් ලබාදීම පිළිබද රජය ගනු ලැබූ තීරණයක් හේතුවෙන් තෙල් බෙදාහරින්නන්ගේ සංගමය තෙල් ඇනවුම් ලබාදීමෙන් වැළකී සිටිමට පසුගිය සිකුරාදා තීරණය කළා.
අභියාචනාධිකරණය මගින් ලබාදුන් තීන්දුවකට අනුව මාර්තු පළමුවනදා සිට අදාළ වට්ටම නිසි ක්‍රම ගණනය කිරීමක් ඔස්සේ ලබාදීමටයි රජය සැළසුම්කර තිබුණේ.
කෙසේ වෙතත් දින තුනක් පුරා බෙදුම්කරුවන් හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර මතබේදාත්මක තත්ත්වයක් හටගෙන තිබුණත් එය ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාවක් වී තිබුණේ නැහැ.
කෙසේ වෙතත් ඊයේ (03) පස්වරුවේ දී තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කලේ අඛණ්ඩව තෙල් ඇනවුම් ලබාදීමටයි.
අද (04) දිනයේදී ඔවුන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමග සාකච්ඡාවකට ද එක්වුණා.
මේ අතර ලංකා ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ දෙදෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (04) කැඳවා තිබුණා.
ඒ තෙල් ඇනවුම් කිරීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.