ඡන්ද කල් දැමීම මූලික අයිතිවාසිකම් කඩකිරීමක්

පුංචි ඡන්දය කල් දමා මහජන නියෝජිතයින් නොමැතිව නිලධාරී පාලනය යටතේ පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

අද ඔහුගේ නිවස ඉදිරිපිට බැනර් ප්‍රදර්ශනය කරමින් මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

එහිදී වැඩිදුරටත් දැක්වූ  මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා,

“පළාත් පාලන ආයතන නිලධාරීන් යටතේ තබාගැනීම මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව අධිකරණය කිව්වා. එයාලා නැතුව ඒවා දුවනවා කියලා සමහරු කියනවා. එහෙම නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් අවශ්‍ය නැහැ. ජනාධිපතිවරයෙක් මොකට ද ? ජනපති ලේකම්, අගවිනිසුරු හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට පාලනය කරන්න පුළුවන්නේ. මහජන නියෝජිතයෝ නැතුව පාලනය කිරීම වැරදියි. එක්සත් ජාතික මානව හිමිකම් විශ්ව ප්‍රකාශයට අපි අත්සන් කරලා. පළාත් සභාවලටත් මෙය වලංගුයි. ආණ්ඩුකාරවරු හා නිලධාරීන් රටේ මුදල් භාවිත කරනවා. ඒක සම්පූර්ණයෙන් වැරදියි. එකකටවත් මහජන නියෝජිතයෝ ඕනේ නැහැ කියලා ඒකාධිපති ක්‍රමයකට යන්න හදන්නේ. මම ඒ ගැන බැනර් එකක් දැම්මා. ඡන්දය ප්‍රමාද කිරීම ඒකාධිපති ක්‍රමයකට අතවැනීමක්. නිල කාලය දීර්ඝ කරගන්න ජනමත විචාරණයක් තිබ්බොත් පරදිනවා. ඒ නිසා ඡන්ද විමසීම් කල්දාන්නේ නැහැ. හැමෝටම කියන්නේ ඡන්දය කල්දැමීම වැරදියි කියලා ගෙදර දැන්වීමක්වත් අලවන්න. 80,000කට වැඩිය ඉන්නවා අපේක්ෂකයෝ, විපක්ෂයේ 40,000 හෝ මෙය කරන්න ඕනේ.”