ලීසිං වාරික නොගෙවූ යතුරු පැදියක් අත්පත් කරගත් පුද්ගලයන් දෙදෙනකු එය පදවාගෙන ආ 15 හැවිරිදි දරුවාද සමග පැහැරගෙන ගොස් පැය කිහිපයකට පසු දරුවා යළි ගෙනැවිත් දමන අවස්ථාවේදී ගම්වාසීන්ගේ ප්‍රහාරයකට ලක්වූ දෙදෙනකු මුදාගෙන බරපතල තත්වයේ සිටි එක් අයකු රෝහල්ගත කළ බව මීරිගම පොලිසිය කියයි.

මීරිගම මුගුරුගම්පල ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවා ඔහුගේ පියාගේ යතුරු පැදියෙන් කිසියම් අවශ්‍යතාවයකට කඩයක් අසලට පැමිණ සිටියදී ත්‍රීරෝද රියකින් පැමිණ දෙදෙනකු දරුවාගෙන් යතුරු පැදිය ලබාගෙන දරුවාද ත්‍රීරෝද රියට නංවාගෙන නිට්ටඹුව බලා ගොස් ඇත.

මේ අතර තම දරුවා ආගිය අතක් නැති බවට මාපියන් පොලිසිය දැනුවත් කරනු ලැබ ඇති අතර ගම්වාසීන්ද දරුවා සෙවීමේ සහය දී ඇත

මේ අතර පැය කිහිපයකට පසු ත්‍රීරෝද රියකින් පැමිණි දෙදෙනකු දරුවා බස්සවා යාමට උත්සාහ කරද්දී ඔවුන් අල්ලා ගැනීමට ගම්වාසීන් සමත්වී ඇත.

ඒ අවස්ථාවේදී ත්‍රිරෝද රියට ද දැඩි ලෙස හානි සිදු කර ඇත.

සිද්ධිය සැලවූ වහාම මීරිගම පොලිසියේ නිලධාරි පිරිසක් එහි ගොස් ගම්වාසීන්ගේ ග්‍රහණයට ලක්ව සිටි දෙදෙනා බේරාගෙන අත්අඩංගුවට ගෙන එක් අයකු මීරිගම රෝහලට ඇතුලත් කිරීමට පියවර ගනු ලැබීය.

රෝහල් ගත කරනු ලැබූ පුද්ගලයා දරුවා ආපසු ගෙන එන අවස්ථාවේ කුලී පදනම මත ත්‍රීරෝද රිය රැගෙන ආ අයකු බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *