‘පැල්පත් වාසීන්ට තැනූ මහල් නිවාසවල පරිපාලනයක් නැතිකමින් සමාජ ගැටලු’

0

නාගරික පැල්පත්වාසී ජනතාව වෙනුවෙන් ලබා දී ඇති මහල් නිවාස සඳහා පරිපාලන ඒකක පිහිටුවීමට බලධාරීන් කටයුතු නොකළහොත් එම මහල් නිවාස සමාජ අර්බුදවලට තෝතැන්නක් වීම වැළැක්විය නොහැකි යැයි කොළඹ අතිරේක නාගරික හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර පැවසුවා ය.

සුඛෝපභෝගී මහල් නිවාස සඳහා වෙන ම පරිපාලන ඒකක පවතිත ත්, නාගරික පැල්පත්වාසීන් සඳහා ඉදිකර ඇති මහල් නිවාස සඳහා පරිපාලන ඒකක පිහිටුවා නැත.

දීර්ඝකාලයක් තිස්සේ මෙම මහල් නිවාස පිළිබඳව කරන අධ්‍යයනයන්ගෙන් තමන් සතු තොරතුරු අනුව පෙනී යන්නේ, මෙම මහල් නිවාසවල වෙසෙන ජනතාව පැල්පත්වලින් ඊටත් වඩා අර්බුදකාරී සමාජයකට ගාල්කර ඇති බවක් යැයි ද ඇය පැවසුවා ය.

මෙම මහල් නිවාසවල තරප්පු පෙළවල් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ රජදහන් බවට මේ වන විට ත් පත්ව ඇතැයි කී ඇය එම මහල් නිවාසවල වෙසෙන දරුවන්ට මත්ද්‍රව්‍ය යනු සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇතැයි පැවසුවා ය.

මූලික වශයෙන් මෙම නිවාස යෝජනා ක්‍රමවලට ගහකොළ ඇති ස්වාභාවික පරිසර කොටසක් නොමැති වීම තුළ එහි වැසියන්ගේ නිදහස් චින්තනයට බාධා පැමිණ ඇති අතර, පිරිසිදු වාතාශ්‍රය නොමැති වීම ද දීර්ඝකාලීන බලපෑම් කරනු ඇතැයි නීතිඥ ඉරේෂා සමරවීර කීවා ය.

අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ව්‍යාපෘති ලෙස මෙම නිවාස හංවඩු වැදීමෙන් ඔවුන්ගේ රැකියාව, විවාහය වැනි සමාජ කාරණාවන්වලට ද එය බලපා ඇතැයි ඇය පෙන්වා දුන්නා ය.

එමෙන් ම, මෙම නිවාසවල බොහෝ විට ඉතා සුළු වපසරියක් පවතින බැවින් තට්ටු මාරු ක්‍රමයට නිදාගැනීමට එහි වැසියන් පුරුදු වී සිටින බව ත් එයින් නොනිදන නගර බිහිව ඇති බව ත් කී මරණ පරීක්ෂකවරිය, වෙලාවක් කලාවක් නැතිව සමාජගත වීමත්, වැරදි පුද්ගලයන් සමාජගත වීමත් සිදුවන්නේ මේ හේතුවෙන් බව ද පෙන්වා දුන්නා ය.

පවතින තත්ත්වයන් යටතේ වහා ම මෙම මහල් නිවාස සංකිර්ණ සඳහා පරිපාලන ආයතන ඇති කිරීම අවශ්‍යයි ද සමරවීර මහත්මිය පෙන්වා දුන්නා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *