පොහොර මිල දී ගන්න ගොවීන්ට වවුචරයක්
මෙවර යල කන්නයේදී ගොවිජනතාවට යූරියා පොහොර, බණ්ඩි පොහොර හෝ ගොවීන්ගේ අභිමතය පරිදි කාබනික පොහොර මිල දී ගැනීම සඳහා වවුචරයක් නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාවට මුදල් කමිටුවේ සහ ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
පසුගිය 4 වන දා පෙරවරුවේ මෙරටට පොහොර ආනයනය කරන සියලු ම සැපයුම් ආයතනවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවත් වූ අතර එහිදී යල කන්නය සහ ඉදිරි මහ කන්නයේ රටට අවශ්‍ය පොහොර සැපයීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
මෙම යල කන්නයේදී යූරියා සහ බණ්ඩි පොහොර මිල දී ගැනීම සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් සහ හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් බැගින් සහනාධාර මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබිණි.
මේ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 11ක් වන අතර මෙම මුදල් යොදා ගැනීම මගින් ගොවීන්ට යල කන්නයේදී කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් තමන්ට අවශ්‍ය යූරියා පොහොර, බණ්ඩි පොහොර හෝ තමන් කැමති නම් කාබනික පොහොර මිලදී ගැනීමට ඉඩ සැලසීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබිණි.
එමෙන් ම, 2023 සහ 2024 මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත්වන අතර, රටට අවශ්‍ය පොහොර සැපයීම සම්පූර්ණයෙන් ම පුද්ගලික අංශය වෙත පැවරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.
එහිදී ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා අවශ්‍ය සහනාධාර මුදල් ගොවිජනතාවගේ ගිණුම්වලට ම බැර කිරීමට පියවර ගෙන ඇති අතර මෙම මුදල බොහෝ දුරට රුපියල් 40,000 -50,000 හෝ ඊට වැඩි මුදලක් විය හැකි බව ද මහින්ද අමරවීර මහතා මෙම සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ.