පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ළමුන් අතර පාචනය වැනි රෝග තත්ත්වයන් ඉහළ යාමක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වර්ෂාවත් සමග මැස්සන් වැනි සතුන්ගේ බෝවීම ඉහළ යාම මෙම රෝගී තත්ත්වයන්ට හේතු වී ඇති බවය.

කුඩා දරුවන් මෙවැනි රෝගවලින් ආරක්ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම ඉතා වැදගත් බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග වසංගත රෝග ව්‍යාප්තිය ද ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ මේ පිළිබඳව ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.

එමෙන්ම කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුද්ගල මරණ 03ක් පෙරේදා දිනයේ සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබේ.

පෙරේදා දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 08 දෙනෙකු ද හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *