“මගේ මානව හිමිකම් කඩවුණා”: කරන්නාගොඩගෙන් අමෙරිකන් තානාපතිනියට ලිපියක්

0

තමාට හා බිරියට අමෙරිකාවට ඇතුළු වීම වළක්වාලමින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ මෙරට අමෙරිකානු තානාපති ජූලී චංග් වෙත ලිපියක් යවා ඇත.

ඒ අනුව, මේ තහනම් පැනවීම සම්බන්ධයෙන් තමාගේ මානව හිමිකම් කඩ වී ඇති බව ත් ඒ පිළිබඳව අධිකරණමය ක්‍රියාමාර්ගවලට යොමුවන බව ත් එහි දක්වා තිබේ.

අදාළ නියෝගය සම්බන්ධයෙන් තානාපතිනිය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි වේලාසනින් දැනුවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබුණු බව ත් අදාළ නියෝගය නියමිත ක්‍රියාපටිපාටිය මගින් ගනු ලැබූවක් යැයි නෛතික වශයෙන් ඉදිරිපත් කර ඇතත් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊට අදාළ චෝදනා පිළිබඳව තමා දැනුවත් කර නොමැති බව ත් එහි සඳහන් කර ඇත.

එම චෝදනා පිළිබඳව තමාගේ නිරීක්‍ෂණ විමසා නොමැති බව ත් ලෝකයේ සියලු ම රාජ්‍යයන් පිළිගනු ලබන්නා වූ ස්වභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝණය කිරීමක් බව ත් එහි දක්වා තිබේ.

වසර 14ක් පුරාවට තමා හෝ තමාගේ බිරිය අමෙරිකාවෙ වීසා අයැදුම්කර නොමැති පසුබිමක මෙලෙස තහනම් පැනවීම නියමිත ක්‍රියාපටිපාටියට අනුව සිදුකළා යැයි පැවසිය නොහැකි බව ද එහි සඳහන් කර ඇත.

එම චෝදනා හරහා තමා වසර 45 පුරාවට රාජ්‍ය සේවය තුළ ගොඩනගාගත් ගෞරවය සහ කීර්තිනාමයට බරපතළ බලපෑමක් එල්ල වී ඇති බවත් තමාගේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටින බව ත් එහි වැඩිදුරට ත් දක්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *