කොවිඩ්-19 නැවත වරක් වර්ධනය වීමේ ලක්ෂණ විදෙස් රටවල් කිහිපයක වාර්තා වී තිබුණු පසුබිමක පසුගිය දින 3 තුළ පමණක් නව රෝගීන් 19 දෙනෙකු හා මරණ 1ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (මැයි 2) සඳහන් කළේ ය.

පසුගිය 30 වන දා නව රෝගීන් 7 දෙනෙකු හමු වී එක් මරණයක් ද, පෙරේදා (මැයි 1) දිනයේ නව රෝගීන් 6 දෙනෙකු හා ඊයේ දිනයේ රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව, ඊයේ රාත්‍රිය වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව හයලක්ෂ හැත්තෑ දෙදහස් එකසිය අසූ තුන්දෙනෙක් (672,183) දක්වා ඉහළ ගොස් තිබේ.

රට තුළ දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීම හා මරණ සංඛ්‍යාව වර්ධනය වී තිබෙන පසුබිමක සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවියේ දක්වා ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 13 වන දිනට අදාළ තොරතුරු පමණි.

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවිය තුළ මේ වර්ෂයට (2023) අදාළ කිසිදු කොවිඩ් රෝගී තොරතුරක් සඳහන් කර නොතිබීම විශේෂත්වයකි.

ඒ අනුව, කිසිදු කොවිඩ් රෝගීන් වාර්තා වීමක් සම්බන්ධයෙන් වෙබ් අඩවිය හෝ සමාජ මාධ්‍ය යාවත්කාලීන වී නොමැත.

මෙම වෙසක් සතියේ මහජනතාව අධික වශයෙන් ගමන් බිමන්වල නිරත වීම හේතුවෙන් අවදානම් තත්ත්වයක් මතුව ඇති බවත් පවතින වාතාවරණය අනුව සියලු දෙනා මුව ආවරණ පැළඳීම වඩාත් සුදුසු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.

නැවත වරක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම වැඩි වීම හේතුවෙන් මහජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද හෙතෙම කීය.

ඉන්දියාව, ජපානය, චීනය, අමෙරිකාව ඇතුළුව රටවල් කිහිපයකින් කොවිඩ් 19 වැළඳුණු පුද්ගලයන් වාර්තා වීමේ ප්‍රවණතාවයේ වැඩි වීමක් පෙන්නුම් කෙරෙන බවට ජාත්‍යන්තර මාධ්‍ය පසුගිය ජනවාරි මාසයේ වාර්තා කර තිබිණි.

සංඛ්‍යා ලේඛන දෙස බැලීමේදී වර්තා වූ සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවේ සුළු වැඩි වීමක් ඇතත්, බටහිර පැසිෆික් සහ අමෙරිකානු කලාප හැර අනෙකුත් සියලු ම ප්‍රදේශවල රෝගීන් සංඛ්‍යාවේ පහළ යාමක් ඇති බවත් ලංකාව තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීම දෙසැම්බර් මාසයේදී අනෙක් මාසවලට වඩා අඩුවී ඇති බව ත් මේ සම්බන්ධයෙන් ජනවාරි මාසයේදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කර තිබිණි.

#Media#news#company#srilanka#MediaNews#Group#Wikipedia#Media#news#company#Facebook#www.epuwath.lk#www.epuwath.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *