බීමත් රියැදුරන් අල්ලන පොලිස් නිලධාරින්ට තෑගි

පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව බීමත් රියැදුරෙක් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් පන් දහසක් ලබා දීමට කටයුතු කරන බව, රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කරයි.

මේ අතර උත්සව සමයේ බීමත් රියැදුරන් හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂණ කට්ටල එක් ලක්ෂ පනස් දහසක් සියලුම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පියවර ගෙන ඇති අතර මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 1,500 දෙනෙකු යොදවා ඇත.