ලොහාන් රත්වත්තේ ඉදිරිපත් කළ රිට් පෙත්සම ඉල්ලා අස්කර ගනී
ලොහාන් රත්වත්තේ ඉදිරිපත් කළ රිට් පෙත්සම ඉල්ලා අස්කර ගනී
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාදීකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තේය.
එහිදී ලොහාන් රත්වත්තේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණයට දන්වා සිටියේ, තම සේවාදායකයාට මේ වන විට ඇප ලැබී ඇති බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.
එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.