තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 හි ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව ඊයේ (03) සිට 12 වනදා මධ්‍යම රාත්‍රි 12.00න් පසුව අවසන් වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා .

නිවේදයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම දිනය කිසිසේත්ම දීර්ඝ නොකරණ බවයි .

එසේම තැපැල් ඡන්ද අයදුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙතින් ලබාගැනීම හෝ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට (www.elections.gov.lk ) පිවිසීමෙන් බාගත කළ හැකි වෙනවා .

මෙම ඡන්ද විමසීමේ දී එම පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ඡන්දහිමියන් ලෙස ලියාපදිංචිව සිටින හා ඡන්ද විමසීම් රාජකාරී සඳහා යෙදවීමට නියමිත සියලුම රජයේ නිලධාරීන්,සේවකයන්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන්,සේවකයන්, තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සේවකයන්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් , සේවකයන් සහ ත්‍රිවිධ හමුදාවන්හි පොලිස් දෙපාර්තමේන්තුවේ සහ සක්‍රීය ආරක්ෂක සේවාවල යොදවා ඇති සිවිල් ආරක්ෂක බලකායේ සාමාජික සාමාජිකාවන්, අපේක්ෂකත්වය නිසා තමාට වෙන් කරන ලද ඡන්ද පොළේ දී පෞද්ගලිකව ඡන්දය දීමට නොහැකි වන බව හෝ එසේ වීමට ඉඩ ඇති අපේක්ෂකයන් තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබනවා .

එබැවින් තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන සියලුමදෙනා අදාළ කාල සීමාව අවසන් වන තෙක් නොසිට නොපමාව ස්වකීය ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කරන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටින්නේ .

තවද, මෙම ඡන්ද විමසීමේ දී තැපෑලෙන් ඡන්දය දීම පිණිස ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ දී ඒ සඳහා වූ තොරතුරු 2024 පළාත් පාලන ආයතන ඡන්දහිමි නාමලේඛනයෙන් නිවැරදිව ලබාගත යුතු බව ද අවධාරණය කරනු ලබනවා .

සහතික කිරීමේ නිලධාරීන් විසින් තැපැල් ඡන්ද අයදුම්පත් පෞද්ගලිකවම පරීක්ෂා කර ඉල්ලුම්කරුගේ අනන්‍යතාව පිළිබඳව නිසැක වී සහතික කළ යුතු අතර සහතික කරනු ලැබූ අයදුම්පත් හැකි වහාම එම අයදුම්කරු ඡන්ද හිමියකු වශයෙන් ලියාපදිංචි දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත 2025.03.12 දින හෝ එදිනට පෙර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ලැබෙන සේ යැවිය යුතු බවයි දැනුම් දී ඇත්තේ .

එම දිනය නැවත දීර්ඝ නොකරන බවත්, නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් හා අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවත් සියලුම සහතික කිරීමේ නිලධාරීන් වෙත දන්වා තිබෙනවා .

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගන්නා අවසන් දෙදින තුළ දී සහතික කරන අයදුම්පත් තැපෑලට භාරදීම වෙනුවට කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගෙනවිත් භාරදීම වඩාත් යෝග්‍ය බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ .

තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍යවන 2024 ඡන්දහිමි නාමලේඛන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි වෙනවා .

ඊට අමතරව අවශ්‍ය වන තොරතුරු ලබාගැනීම සඳහා 2024 පළාත් පාලන ආයතන ඡන්දහිමි නාමලේඛන පහත සඳහන් ස්ථාන වල දී ද ප්‍රදර්ශනය කරන බව දැනුම් දී තිබෙනවා .

*සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල (කච්චේරිවල)

*සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල (අදාළ දිස්ත්‍රික්කයට අයත් නාමලේඛන)

*සියලුම පළාත් පාලන ආයතන වල (එක් එක් පළාත් පාලන බල ප්‍රදේශයට අයත් නාමලේඛන)

*සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල (එක් එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් නාමලේඛන)

මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමයට තැපැල් ඡන්ද අයදුම්පත්‍ර සම්පූර්ණ කර ගැනීම සඳහා පහසුකම් සපයා දී තිබෙනවා.

ඡන්දහිමි නාමලේඛනයේ ජාතික හැදුනුත් අංකය සඳහන් නොවන අයදුම්කරුවන් ඉහත අංක 4 හි සඳහන් ස්ථානයකින් ස්වකීය ලියාපදිංචියට අදාළ තොරතුරු ලබාගෙන අයදුම්පත්‍ර සම්පූර්ණ කළ යුතු වෙන බව සඳහන් .