හිටපු පා.ම ශාන්ත අබේසේකර සහ පුත්‍රයා අත්අඩංගුවට

පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයාව අද(18) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා .

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය හමුවේ අද (18) දිනයේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීයි ඔවුන් දෙදෙනාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ .

ඒ, නීතිවිරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් කොටස් කර සඟවා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි .

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මඟින් ඉකුත් 06 වනදා අලුයම එලෙස සඟවා තිබූ කොටස් කිහිපයක් සිය භාරයට ගෙන තිබෙනවා .

සැකකරුවන් දෙදෙනා හෙට (19) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .