නව රජයේ පළමු අයවැය හෙට

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) හෙට (17)  පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි.

අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

2025 ජනවාරි 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වීමට නියමිත වනවා.

අනතුරුව පෙබරවාරි 25 වැනිදා ප.ව 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙයි.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව 6.00ට පැවැත්වෙනවා.

අයවැය කාලසීමාව තුළ සෑම දිනයකම පෙ.ව 9.30 – පෙ.ව 10.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5ක් සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව 10.00 සිට ප.ව 6.00 දක්වා කාල සීමාව තුළ අයවැය විවාදය පැවැත්වීමට නියමිතයි.

එසේම ඡන්ද විමසීම් පැවැත්වෙන පෙබරවාරි 25 සහ මාර්තු 21 දෙදින හැර අනෙකුත් සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනා සඳහා වෙන් කර තිබෙනවා.