සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ සමාරම්භක වැඩසටහන අද

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ‘සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහන අද පෙරවරු 08.00ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වීමට නියමිතයි.

ඒ මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරයේ දී.

මෙම වැඩසටහනට සමගාමීව බස්නාහිර හා දකුණ පළාත් ආවරණය වන පරිදි තවත් ස්ථාන 124 දී මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන් පෙ.ව. 8.00 සිට 11.00 දක්වා ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (08)පැවැත්වුණා.

රට පුරා කිලෝමීටර් 1,740 ක වෙරළ තීරයක් පිරිසිදු කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ජනාධිපති අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ් අනුව මෙම වැඩසටහන ඔස්සේ වෙරළ පිරිසිදුකම, සංරක්ෂණය, ආරක්ෂාව සහ නරඹන්නන්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව සුගීෂ්වර මහතා පැහැදිලි කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සුන්දර වෙරළ තීරයන්ගෙන් වටවී තිබුණද, ධීවර ජනගහනය ඇතුළු දේශීය ප්‍රජාවන්ට ඒවායෙන් එන සැලකිය යුතු ප්‍රතිලාභ තිබියදීත්, ඒවායේ පාරිසරික තිරසාරභාවය සහ පිරිසිදුකම බොහෝ විට නොසලකා හැර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.