විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යය ආනන්ද විජේපාල මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ඊයේ ( 07) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී සිදුවුණා.

මෙහිදී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

එසේම යෝජිත 24 පැය සේවා සැපයීමේ ක්‍රියාවලිය සහ දිගුකාලීන විසඳුම් කෙරෙහි අවධානය යොමු වුණා.

පසුගිය සමයේ ගෙන තිබූ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා පැන නැගී තිබූ අර්බුදකාරී තත්වය හේතුවෙන් ජනතාව දිවා රෑ පුරා දුක් විඳින බවත් එවැනි පීඩාවක් ජනතාවට ඇති නොවන පරිදි ජනතාවට සේවය කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

මෙයට පිළියම් ලෙස පසුගිය සතියේ විද්වත් කමිටු නිර්දේශ පරිදි දිනකදී නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීමටත්, යාපනය ප්‍රදේශය තුළ නව ආගමන හා විගමන කාර්යාලයක් ආරම්භ කිරීමටත්, එම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කාර්යමණ්ඩල සපයා ගැනීම සඳහා වන අමාත්‍ය මණ්ඩල තීරණය රාජ්‍ය සේවා කොමිසමට යොමුකර ඇති බවත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය නුදුරේදී ලබා ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

යෝජිත 24 පැය විදේශ ගමන් බලපත්‍ර සේවා සැපයීමේ ක්‍රියාවලියේදී සේවා මුර 03ක් යටතේ නිලධාරීන් සේවා සැපයීමේ නිරත වීමටත්, අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලයේ නිලධාරීන් රාජ්‍ය සේවය තුළින්ම සහ විශ්‍රාමික පුහුණු නිලධාරීන් යෙදවීම කෙරෙහිත් අවධානය යොමුව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජනතාව තුළ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාදයකින් තොරව ලබා ගත හැකි යැයි විශ්වාසය ඇති කළ යුතු බවත් එමඟින් මෙම අර්බුදය නිරාකරණය කළ හැකි බවත්ය.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහාත්, ජනතාවට සහාය වීමටත් අලුතින් පොලිස් මුරපොලක් යෙදවීමට උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යවරයා පැවසුවා.

මෙම අවස්ථාවේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට අමාත්‍යවරයා වෙත තම ගැටළු ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වූ අතර විදෙස්ගමන් බලපත්‍ර ලබා දීමේදී තමන්ට මතු වන ගැටලු පිලිබඳව මෙහිදී අදාල නිලධාරීන් විසින් අමාත්‍යවරයා දැනුවත් කළ අතර එම ගැටලු සඳහා අවශ්‍ය විසඳුම් ලබා දෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ජනතා අභිලාෂයන් නියෝජනය වන පරිදි රාජ්‍ය සේවය කාර්‍යක්ෂම කිරීම අපගේ අරමුණ වන බවත් නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් රටතුළ නීතිය හා සාමය සුරක්ෂිත කිරීම තම අරමුණ බවත් එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ගරු සුනිල් වටගල මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා, වැඩ බලන ආගමන හා විගමන පාලක ජෙනරාල් නිලූෂා බාලසූරිය මහත්මිය, සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුණා.