රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී

ඩුබායි හි සිට මෙරටට රැගෙන ආ අපරාධ රැසකට සම්බන්ධ රොටුඹ උපාලි නැමැති සැකකරු දින 7ක් රඳවා තබා ගැනීමට මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

රොටුඹ උපාලි ඩුබායි හි සිට රැගෙන ඒමෙන් පසු ඊයේ රාත්‍රී 9ට පමණ මාතර මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට රැගෙන ඒමෙන් පසුවයි දින 7ක රැඳවුම් නියෝග නිකුත් කර ඇත්තේ.

ඒ අනුව සැකකරු තිහගොඩ පොලිස් ස්ථානයේ රඳවා තැබීමට අවසර දී තිබෙනවා.

නාඩකන්දගේ උපාලි හෙවත් රොටුඹ උපාලි නැමැත්තාට එරෙහිව අපරාධ චෝදනා රැසක් පවතිනවා.

මෙම සැකකරු මාවරල ප්‍රදේශයේදි සිදු කළ ඝාතනයකට හා අකුරැස්ස ප්‍රදේශයේ සිදු කළ ඝාතනයක සැකකරුවෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එමෙන්ම ඌරුබොක්ක ප්‍රදේශයේදී දැරියක අපහරණය කිරීමේ සිද්ධියකද මොහු සැකකරුවෙකු වනවා.

මේ අතර මෙසේ රතු නිවේදන නිකුත් කර ඇති තවත් අපරාධකරුවන් 65 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට පොලීසිය තවදුරටත් ක්‍රියාකරමින් සිටිනවා.