රාත්‍රී සංගීත නවත්වන්න නව රජය නීති පනවා නෑ

රාත්‍රී කාලයේ පවත්වන සංගීත සංදර්ශන නැවැත්වීමට පිළිබඳ නව රජය හෝ ජනාධිපතිවරයා මෙතෙක් කිසිදු අලුත් නීතියක් පනවා නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඊයේ (25) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ජනවාරි 15 වැනි බදාදා දිනයේ මාතර පොල්හේන ප්‍රදේශයේ හෝටලයක විදේශිකයන් සම්බන්ධ වූ සංගීත ප්‍රසංගයක් රාත්‍රී 10ට අවසන් කිරීමට පොලිසිය කටුයුතු කළ බවට විදෙස් කාන්තාවක් විසින් සමාජ ජාලයකට මුදාහරින ලද වීඩියෝවක් මේ දිනවල සංසරණය වේ.

එම වීඩියෝවෙන් ඇය පවසා ඇත්තේ නව රජයේ ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණයක් මත එම සංගීත සංදර්ශනය නවතා දැමූ බව යි.

අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් දක්වමින් පැහැදිළි කළේ එම කාන්තාව හරිහැටි කරුණු නොදැන හෝ යමකු විසින් ඇයට ලබා දුන් වැරැදි තොරතුරු මත හිඳ එම වීඩියෝව නිකුත් කර ඇති බව ය.

එසේම ජනාධිපතිවරයා හෝ නව රජය සංගීත සංදර්ශන රාත්‍රී 10ට නැවැත්වීමට හෝ ඒවා පැවැත්වීම පිළිබඳ මෙතෙක් කිසිදු නව නීතියක් පනවා නොමැති බව මෙහි දී ඇමැතිවරයා පෙන්වා දුනි.

එහි දී පොලිසිය කටයුතු කර ඇත්තේ 2005/38 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මගින් මහජනතාව පීඩාවට පත්වන ආකාරයේ සංගීත ප්‍රසංග පැවැත්වීම පිළිබඳව තීන්දුවක් ලබා දී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම තීන්දුව මත පොලිසිය 2007 හා 2008 වසරවල චක්‍රෙල්ඛ නිකුත් කර ඇති බවත්, 2010 වසරේ දී එය සංශෝධනයට ලක් කර ඇති බවත් පෙන්වා දුන්නා.

ඒ අනුව සඳුදා, අඟහරුවාදා, බදාදා හා ප්‍රහස්පතින්දා දිනවල රාත්‍රී 10ටත්, සිකුරුදා හා සෙනසුරාදා දිනවල අළුයම 01ටත්, ඉරිදා දිනයේ රාත්‍රී 12.30ටත් සංගීත සංදර්ශන හෝ සංගීත ප්‍රසංග පැවැත්විය හැකි යි.

කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් මෙම සිද්ධියෙන් පසුව මේ පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා පැවැසුවේ සංචාරක ක්ෂේත්‍රයට බලපෑමක් සිදුනොවන අයුරින් හා මහජනතාවටද බාධාවක් නොවන අයුරින් මෙම සංශෝධන සිදුකළ යුතුව ඇති බව යි.