ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින්

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ලබන 07 වැනි දා ආරම්භ කෙරෙනවා.

ජනාධිපති අරමුදලේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති මාර්ගගත සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණය වුණා.

කොළඹට පමණක් සීමාවී තිබූ ජනාධිපති අරමුදලේ කාර්යාලයීය සේවා සැපයීම දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 341හිම ස්ථාපිත කෙරෙන උප කාර්යාල මඟින් ක්‍රියාත්මක කිරීමට මෙමගින් සැලසුම් කර තිබෙනවා.

තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහක මීට අදාළ නියමු ව්‍යාපෘතිය දැනටමත් ක්‍රියාත්මක වන අතර එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම මේ අනුව පෙබරවාරි 07 වැනි දා සිට ආරම්භ වන බවයි පැවසෙන්නේ.

ජනාධිපති අරමුදලට නව ඩිජිටල්කරණ හා ජාලකරණ වැඩපිළිවෙල හඳුන්වාදීම තුළින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් සැපයීමට කටයුතු කරන බව ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා පවසනවා.

මෙහිදී ඕනෑම කෙනෙකුට තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමන්ගේ රෝගයට අදාළ මුදල ඉල්ලුම් කළ හැකි අතර ඊට අදාළ ලිපි ලේඛණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගෙනවිත් භාර දිය හැකියි.

රෝගීන් තෝරා ගන්නා ආකාරය, ඔවුන්ගේ ලිපි ලේඛණ සකස් කරන ආකාරය සහ ජනාධිපති අරමුදලේ වගකීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීම සිදු කිරිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.