ඉවත් කළ ආරක්ෂාව යළි ලබාගන්න මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට
ඉවත් කළ ආරක්ෂිත සංචිතය යළි ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.
සිය මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් නම් කර තිබෙනවා.
මේ වනවිට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියකු සිය ආරක්ෂාව සඳහා යොදවා නොමැති බවත් පොලිස් නිලධාරින් පමණක් ආරක්ෂාව සඳහා සපයා තිබෙන බවත් පෙත්සම මගින් පෙන්වා දෙන ඔහු, දශක තුනක් පමණ පැවැති යුද්ධයක් නිමා කිරීමට නායකත්වය දුන් තමා ත්‍රස්තවාදී තර්ජනවලට මුහුණපා සිටින අයකු වන අතර, ජීවිතයටද තර්ජන එල්ල වී තිබෙන බව ද සිය පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
නිසි තක්සේරුවකින් තොරව සිය ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට සිය ආරක්ෂාව සඳහා සපයා තිබූ අන් සියලු නිලධාරීන් අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.