බන්ධනාගාර රැඳවියෙකුට මත්ද්‍රව්‍ය රැගෙන ගිය තරුණයෙක් හට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්
ආහාර බඳුනක ඇති ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25 කට අධික ප්‍රමාණයක් සඟවා රැගෙන යාමේ චෝදනාවට වරදකරු කෙරුණු 26 හැවිරිදි තරුණයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් නියම කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
2019 වසරේ දෙසැම්බර් මස 04 වනදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සිය මිත්රයෙකුට ආහාර රැගෙන ගිය භාජනයේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25.09ක් සඟවා බන්ධනාගාරය තුළට රැගෙන ගිය අවස්ථාවේදී, බන්ධනාගාර බුද්ධි අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව නඩු පවරනු ලැබීය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා තීන්දු කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවය.
ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න තීන්දු කර තිබෙනවා.