කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා යලි රක්‍ෂිත බන්ධනාගාරයට
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා යලි රක්‍ෂිත බන්ධනාගාරයට
රුපියල් කෝටි 14ක් වටිනා මැණිල් ගල් වාහන හා දේපළ බලහත්කාරයෙන් ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා ලෙස රාජකාරි කළ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතා ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට රත්නපුර මහෙස්ත්‍රාත් සමන් ඩී. කේ. බරනලියනගේ මහතා ඊයේ (13දා) නියෝග
කළේය පසුගිය 9 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සහකාර පොලිස් අධිකාරිවරයා ඊයේ (13දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට පසුගිය 10 වැනිදා රත්නපුර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.
මැණික් ව්‍යාපාරයක් සඳහා යොදවන ලද රුපියල් කෝටි 14ක මුදලක් ආපසු නොදී වංචා කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳ එම කොට්ඨාසය විසින් 2023 වසරේදී නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබූ බවත් සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ද ඉන්දතිස්ස මහතා ඊයේ (13දා) මහෙස්ත්‍රාත්වරයාට පැවැසීය.
එම පැමිණිල්ලේ පැමිණිලිකරු මෙන්ම සැකකරු වූ දීර්ඝ කාලයක් තිස්සේ මැණික් ව්‍යාපාරයේ යෙදී සිටි අය බැවින් පසුව දෙපාර්ශ්වයම එකඟතාවක් ඇති කරගෙන තිබුණත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නිසියාකාරව විමර්ශන සිදු නොකර සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවැසීය. සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඒකපාර්ශ්විය ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වී ඇති බව පවසමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලූ රත්නපුර මහෙස්ත්‍රාත්වරයා විත්තිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් එම නියෝගය කළේය.
Diwaina – ඒ. ජේ. ඒ. අබේනායක