විපක්ෂ නායක කාර්යාලයේදී මට පහරදුන්න

විපක්ෂ නායක කාර්යාලයේදී මට පහරදුන්න

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේදී තමන්ට පහරදීමක් සිදුකළ බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා පවසනවා.

ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් එම මන්ත්‍රීවරයා සඳහන් කළේ සුජිත් නමැති අයෙක් තමන්ට පහරදුන් බවයි.

ඔහු මෙම චෝදනාව සිදු කිරීමට පෙර ඔහුට අදහස් දක්වමින් සමීපයෙන් පිටුපස ආසනයේ  සිටියේ සජබ මන්ත්‍රී හේෂා විතානගේ මහතාය. ඔහුද සිය කතාව අවසානයේ රාමනාදන් මන්ත්‍රීවරයාගේ හැසිරීම ගැන දොස් කියමින් කතා කළේය.

හේෂා විතානගේ මහතා – මේ පාර්ලිමේන්තුව රඟපාන, ටික්ටොක් කරන මන්ත්‍රීවරුන් එවන්න එපා. යාපනයෙන් ආපු කෙනෙක් ටික්ටොක් කරනවා. ඔබතුමිය කියන්න ඒ මන්ත්‍රීට එහෙට වෙලා ටික්ටොක් කරගන්න කියලා. විපක්ෂ නායකතුමාගේ පුටුවේ වැඩි වෙලා, ඇඟේ හයිය පෙන්නපු අයට මේ පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය රකින්න බැරි නම් ඒ ගැන පියවර ගන්න.

මෙහිදී චෝදනා කළ රාමනාදන් මනත්‍රීවරයා මෙසේ කීය

හෙට දිනයේදී පාර්ලිමේන්තුවේදී තමාට ලැබී ඇති කාලවේලාවන් ගැන දැන ගැනීමට තමා විපක්ෂ නායක කාර්යාලයට ගිය බවත්, එහි සිටි නිලධාරින් තමන්ට හෙට සවස 4.00 ට වෙලාව ලබාදිය හැකි බව පැවසූ බවයි ඔහු සඳහන් කළේ.  එම පිළිවෙල සකස් වෙන්නේ කෙසේදැයි තමන් විමසූ බවද, එවිට සුජිත් නම් පුද්ගලයෙක් එය තීරණය කරන බවද, ඔහුට කතා කරන ලෙස පැවසූ බවද මන්ත්‍රීවරයා තවදුරටත් පවසා සිටියා.

වෙලාව වෙන් කරන ආකාරය ගැන ඔහු තනි තීරණ ගන්නේ කෙලෙසදැයි විමසූ විට සුජිත් නම් පුද්ගලයා තමාට පහරදුන් බවයි වෛද්‍ය රාමනාදන් අර්චුනා පාර්ලිමේන්තුවේදී පැවසුවේ.

සුජිත් සංජය මහතා – මෙතුමා කියනවා මම එතුමාට පහර දුන්නා කියලා. එහෙම කිසිම දෙයක් සිදු වෙලා නෑ. මම ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මෙතුමා මට තර්ජනය
කළා.