Black Friday යනු කුමක් ද
මුදල් වැය කිරීමට අපේක්ෂා කළත් නැතත්, නොවැම්බර් 29 වන දාට Black Friday යෙදී ඇති බව ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවක් දනිති.
කඩ සාප්පුවල ජනේල මෙන් ම ඊ මේල්වලින් ඉන්බොක්ස් ද පිරී ඇත්තේ, “”Buy now!” “Don’t miss out!” සහ “Deals end soon!” ආදී පණිවිඩවලිනි.
පාරිභෝගිකයින්ව මුදල් වැය කිරීමට දිරිමත් කරවන සාප්පු සහ සිල්ලර වෙළෙන්දන් වෙළෙඳ භාණ්ඩවල මිල තාවකාලිකව අඩු කරන මෙම කාල සීමාව එක්සත් ජනපද සම්ප්රදායක සිට ගෝලීය සංසිද්ධියක් දක්වා දිගු කාලයක් තිස්සේ විකාශනය වී ඇත.
නමුත් Black Friday වසරේ කාර්යබහුල ම සාප්පු සවාරි දිනයක් බවට පත් වී ඇත්තේ කෙසේ ද? සහ පාරිභෝගිකයින්ට එය සැමවිට ම ශුභ ආරංචියක් නොවන්නේ ඇයි?
Black Friday යෙදී ඇත්තේ කවදා ද? සහ එහි මූලාරම්භය කුමක් ද?
Black Friday දිනය යෙදී ඇත්තේ, එක්සත් ජනපදයේ සැමරුම් සිදුවන, නිවාඩු දිනයක් ද වන ස්තූතිය පුද කිරීමේ (Thanksgiving) දිනයට පසු දින, එනම් නොවැම්බර් මස හතර වන සතියේ ය.
මෙම වචනයේ මූලාරම්භය සහ සාප්පු සවාරි අතර කිසිදු සම්බන්ධයක් නැත: Black Friday දිනයක් පිළිබඳ පළමු සඳහන වූයේ, රන් මිල පහත වැටීමෙන් ඇති වූ 1869 වසරේ මූල්‍ය අර්බුදය යි.
20 වන ශත වර්ෂයේ මැද භාගයේදී, එය ‘ස්තූතිය පුද කිරීමේ දින’ නිවාඩුවෙන් පසු ඇමෙරිකානුවන් සේවයට වාර්තා නොකිරීම ඇඟවීමට භාවිත කෙරිණි.
Black Friday යන්න, සාප්පු සවාරි යන්නන් නිසා නගරයේ ඇති වූ තදබදය හැඳින්වීමට ෆිලඩෙල්ෆියා පොලිස් බළකාය භාවිත කළ යෙදුමක් ද විය.
1980 දශකයේදී, සිල්ලර වෙළෙන්දන් විසින් මෙම පදය වඩාත් ධනාත්මක දෙයක් බවට පත් කරන ලදී: එනම් ඔවුන් ලාභයක් ලැබීමට පටන් ගත් දිනය, ගිණුම්කරණය අනුව නම්, ඔවුන්ගේ මූල්‍ය වටිනාකම් රතු සිට කළු පැහැය දක්වා මාරු වූ අවස්ථාව හැඳින්වීමට එය යොදා ගැනිණි.
එය පසුව විශාල වට්ටම් සහ එලෙස ලබා දෙන භාණ්ඩ මිලට ගැනීමට පොර බදන පාරිභෝගිකයින් සඳහා පට බැඳිණි. Cyber Monday යන වාක්‍ය ඛණ්ඩය ද එම ප්‍රවණතාව අනුගමනය කරමින් Black Friday දිනයට පසුව උදාවන සඳුදා දිනය ඔන්ලයින් සාප්පු සවාරි ප්‍රවර්ධනය කිරීමට වඩාත් මෑතකදී නිර්මාණය කෙරිණි.
එතැන් සිට Black Friday දිනය ලොව පුරා අනෙකුත් රටවල් සහ මහද්වීප වෙත, වැඩි වශයෙන් ඉන්ටර්නෙට් හරහා ව්‍යාප්ත වී ඇත.
Black Friday කෙතරම් දැවැන්ත ද?
ඇමෙරිකානු මෘදුකාංග සමාගමක් වන Salesforceහි පර්යේෂණ මගින් ඇස්තමේන්තු කර ඇත්තේ, 2023 වසරේ එම කාලය තුළ ගෝලීය වශයෙන් පාරිභෝගිකයින් ඉන්ටර්නෙට් හරහා ඩොලර් බිලියන 70.9ක් වැය කර තිබූ බව ය. එය 2022ට වඩා 8%ක වැඩි වීමකි.
එක්සත් රාජධානියේ, පළමු වරට Black Friday දිනය මහා පරිමාණයෙන් ඇරඹුණේ, 2010 වසරේදී ය. එය එරට ඓතිහාසික සාම්ප්‍රදායික සාප්පු සවාරි දිනය එනම්, නත්තලට සමගාමීව ආරම්භ වන Boxing Day අභිබවා ගොස් ඇත.
උපදේශන සමාගමක් වන PwCට අනුව, පාරිභෝගිකයින් මෙම කාලය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 9කට ආසන්න මුදලක් වැය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අප්‍රිකාවේ, මාර්ගගත ගෙවීම් සේවා සපයන්නා වන PayU වාර්තා කළේ, එක් දිනක් තුළ – 2023 නොවැම්බර් 24 වන දින – නයිජීරියාව, දකුණු අප්‍රිකාව සහ කෙන්යාව පුරා සාමාන්‍ය දෛනික ප්‍රමාණයට වඩා 83%කින් ගනුදෙනු වැඩි වූ බව ය.
ආර්ජන්ටිනාවේ, මූල්‍ය අර්බුදයක් තිබියදීත්, පසුගිය Black Friday කාලය තුළ ඊ-වාණිජ්‍ය ගනුදෙනු 104%කින් ඉහළ ගොස් තිබුණු බව PayU ද වාර්තා කළේ ය.
කෙසේ වෙතත් නොවැම්බර් මාසයේ යෙදී ඇති විශාලතම ගෝලීය සාප්පු සවාරි දිනය Black Friday පමණක් නොවේ.
ප්‍රංශ පාරිභෝගිකයෝ ඔවුන්ගේ ‘Vendredi Fou’ (Crazy Friday) සඳහා සූදානම් වෙමින් සිටිති.
චීනයට ඒ සඳහා තමන්ට ම වෙන් වූ මහා පරිමාණ දිනයක් ඇත. එය Singles Day ලෙස හැඳින් වේ. එය සති කිහිපයක් පවතින, සාප්පු සවාරි සිදු කරන කාල සීමාවක් වන අතර නොවැම්බර් 11 වන දායින් අවසන් වේ.
මෙක්සිකානු වැසියන්ට නොවැම්බර් 20 ආසන්නයේ යෙදෙන ස්පාඤ්ඤ භාෂාවෙන් ‘the good weekend’ අර්ථය ඇති ‘El Buen Fin de Semana’ නමැති දිනයක් ඇත. එය ජාතික නිවාඩු දිනයකි.
තව ද මැද පෙරදිග, ඉස්ලාම් ධර්මය අනුව සිකුරාදා ශුද්ධ වූ දිනයක් බැවින් ආගමික හේතු මත Black Friday, White Friday ලෙස හැඳින්වේ.
Black Friday දිනයේ ඔබට ලැබෙන වට්ටම් ඇත්තට ම වාසිදායක ද?
පිළිතුර සරල නැත.
එක්සත් රාජධානියේ, ‘Which?’ පාරිභෝගික කණ්ඩායම විසින් 2022 වසරේ කරන ලද අධ්‍යයනයකින් සොයා ගෙන තිබුණේ, Black Friday දිනයේ සිදු කෙරෙන වෙළෙඳ ගනුදෙනුවලින් හතෙන් එකකදී පමණක් සැබෑ ලෙස වට්ටම් ලැබෙන බව ත්, එලෙස අලෙවි කරන භාණ්ඩවලින් බහුතරයක් ඊට පෙර මාස 6 පුරාවට ම පැවති අඩු මිලට හෝ එම මිලට ම අලෙවි කෙරෙන බව ත් ය.
කෙසේ වෙතත්, ප්රමුඛ පෙළේ පාරිභෝගික වෙබ් අඩවියක් වන MoneySavingExpert, 2023දී වැඩි දෙනෙකු විසින් ‘සර්ච්’ කරන ලද නිෂ්පාදන 50ක් ගැන විශ්ලේෂණය කළේ ය. එහිදී, වැඩි වශයෙන් තාක්ෂණික උපාංග වූ ඒවායින් 35ක් නත්තලට පෙර, එනම් දෙසැම්බර් 19 වන දාට වඩා Black Friday දින ලාභ වූ බව සොයා ගන්නා ලදී.
බ්‍රසීලයේ, සිල්ලර වෙළෙන්දන් වංචනික ලෙස මිල ගණන් සඳහන් කිරීමේදී ඇතැම් පාරිභෝගිකයින් ඊට විරෝධය පළ කළ අතර පසුව එය එය “Black Fraud” ලෙස ව්‍යවහාර වීම ආරම්භ විය. “Black Fraud” යනු, Black Friday දිනට පෙර භාණ්ඩවල මිල ඉහළ දමා, පසුව ඊට වට්ටම් ලබා දීමේ ක්‍රමයයි.
අඩු මිල ගණන් අපේක්ෂාවෙන් සාප්පු සවාරි යන පිරිස් ද අවධානය යොමු කළ යුතු කරුණු තිබේ.
ලොයිඩ්ස් බැංකුවේ විශ්ලේෂණයට අනුව, Black Friday දිනය ආසන්න වන විට වංචා තුනෙන් එකකින් ඉහළ යයි. එවැනි බොහෝ වංචාවන් සිදුවන්නේ ඇඳුම් මිල දී ගැනීමේදී ය.
2021 වසරේදී Black Friday සහ Cyber Monday දින ආසන්නයේ සිදුවන වංචා සංඛ්‍යාව 29%කින් ඉහළ ගිය බව එම බැංකුව පවසයි.
බුද්ධිමත් ලෙස භාණ්ඩ මිල දී ගන්නේ කෙසේ ද? වංචාවලට හසු නොවී සිටින්නේ කෙසේ ද?
Black Friday කාලය තුළ කලබලකාරී මිල දී ගැනීම බහුල ය. එක්සත් රාජධානියේ, සිල්ලර වෙළෙඳාම පිළිබඳ විශ්ලේෂකයින් දෙසැම්බර් 3 වන දා “Returns Thursday” ලෙස හාස්‍යජනක ලෙස හඳුන්වනු ලැබුවේ, ඊ-වාණිජ්‍ය වෙළෙඳ ආයතනයක් වන IMRGට අනුව, වසරේ වෙනත් ඕනෑ ම දිනයකට වඩා එම දිනයේදී මිලට ගත් භාණ්ඩ වැඩි වශයෙන් මාරු කිරීමට පාරිභෝගිකයින් පැමිණෙන බැවිනි.
පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතන අනතුරු අඟවන්නේ, සීමිත කාලයක් සඳහා පමණක් වට්ටම් භුක්ති විඳීමට අවස්ථාව ලැබෙන බැවින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වියදම් පාලනය කිරීමට අපහසු වන බව ය.
“ඔන්ලයින් හරහා ගනුදෙනු වෙද්දී තවත් අමාරු යි. මොක ද වෙළෙඳන්ට පුළුවන් එක එක ක්‍රම පාවිච්චි කරලා පාරිභෝගිකයින්ව ප්‍රෙෂර් කරන්න,” ලන්ඩන් පදනම් කරගත් පුණ්‍යායතනයක් වන Money and Mental Health Policy Instituteහි ප්‍රකාශක බ්‍රයන් සෙම්පල් බීබීසීය වෙත පැවසීය.
සාමාන්‍ය උපදෙස් නම්, මවුස් එක ක්ලික් කිරීමට හෝ තම මුදල් පසුම්බිය විවෘත කිරීමට පෙර දෙවරක් සිතා බැලීම ය.
නමුත් විශේෂඥයෝ මූලික පියවර කිහිපයක් නිර්දේශ කරති:
- කලබල වී ඉක්මන් මිල දී ගැනීම් කිරීමෙන් වළකින්න.
- වට්ටම් දී ඇති වෙළෙඳ භාණ්ඩ තමන් ම සොයා ගැනීම සහ මිල සංසන්දනය කර බලන්න.
- නුහුරු නුපුරුදු වෙබ් අඩවිවලින් මිල දී ගැනීමෙන් වළකින්න – අඩු මිලක් සටහන් කර තිබේ නම් එය රැවටීමක් විය හැකි ය.
- තවත් කෙනෙකුගේ අදහස විමසන්න.
- අනෙක් වෙළෙන්දන්ගේ මිලට සමාන මිලක් ලබා දෙනවා දැයි බලන්න.
- Reviews බලනවා නම්, විශ්වසනීයත්වයෙන් යුතු වෙබ් පිටු භාවිත කරන්න, ව්‍යාජ ඒවා වෙත පිවිසීමෙන් වළකින්න.
- යම් දෙයක් වැරදී ගියහොත් සාමාන්‍යයෙන් අමතර ආරක්ෂාවක් ලබා දෙන බැවින් ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කරන්න, සහ සියලු ගෙවීම් ඔබ භාවිත කරන වේදිකාව හරහා ම සිදු කිරීමට වග බලා ගන්න.
BBC Sinhala