ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර සටන් විරාමයක්
ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර මාස 13ක් තිස්සේ පැවති සටන් නතර කිරීම සඳහා සටන් විරාම ගිවිසුමකට එකඟත්වය පළ වී ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කර තිබේ.
“ඊශ්‍රායල් වේලාවෙන් බදාදා (නොවැ: 27) සවස 04:00 සිට ක්‍රියාත්මක වන පරිදි, ලෙබනන්-ඊශ්‍රායල් දේශසීමා හරහා ක්‍රියාත්මක වූ සටන් අවසන් වනු ඇතැයි,” ජෝ බයිඩ්න් පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එම සටන් විරාම ගිවිසුම “සතුරුකම් ස්ථිර ලෙස නැවැත්වීමේ” අරමුණු කරගෙන ඇති බව ය.
ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ, හිස්බුල්ලා සංවිධානය ගිවිසුමේ එකඟතාවන් අතරින් එක් කොටසක් හෝ උල්ලංඝණය කළහොත් නැවත පහර දීමට පසුබට නොවන බව ය.
2023 ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායලය සමග සටනක නිරතව සිටි ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. සැප්තැම්බර් මස අගදී ඊශ්‍රායලය බෝම්බ හෙළීම තීව්ර කර භූමි ආක්‍රමණයක් දියත් කළ විට දෙපාර්ශවය අතර සටන් උත්සන්න විය.
එය, දශක කිහිපයක කාලයකදී ලෙබනනය මුහුණ දුන් දරුණු ම සටන විය. ලෙබනන් බලධාරීන් පවසන්නේ, මෙම සටන් නිසා පුද්ගලයින් 3823 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ය.
සැලසුම් කළ පරිදි බදාදා රාත්‍රියේ සිට සටන් විරාම ගිවිසුම ආරම්භ විය.
ගිවිසුම ක්‍රියාත්මක වීමට සුළු වේලාවකට පෙරදී ද දෙපාර්ශවයෙන් ම ප්‍රහාර වාර්තා විය.
ඊශ්‍රායලය සටන් විරාම කාල සීමාවට පැය හතරකට පෙර බේරූට්හි ඇතැම් ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට නියෝග නිකුත් කරන ලද අතර, නියමිත වේලාවට මදකට පෙර ද ප්‍රහාර දියත් කළේ ය. සටන් නැවැත්වීමට පැය කිහිපයකට පෙර හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාර ද එල්ල කළේ ය.
අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද, ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් සිදුවූ ගනුදෙනුව යටතේ, ලෙබනන් රජයේ හමුදා දැනට හිස්බුල්ලා සංවිධානය විසින් අල්ලාගනු ලැබ සිටින ප්‍රදේශයක පාලනය නැවත තමන් යටතට ගැනීමත් සමග ඊශ්‍රායලය ලෙබනනයේ දකුණු කලාපයෙන් සිය හමුදා ක්‍රමයෙන් ඉවත් කර ගැනීමට දින 60ක කාලයක් හිමි වනු ඇත.
2006 දී අවසන් වරට පැවති ඊශ්‍රායල-හිස්බුල්ලා යුද්ධය අවසානයේ පිහිටුවන ලද මායිමක් වන ලිටානි ගඟට දකුණින් පිහිටි ප්‍රදේශයෙන් හිස්බුල්ලා සටන්කරුවන් සහ ආයුධ ඉවත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
“මෙම නිවේදනය දීර්ඝ කාලීනව සාමකාමී බව යථා තත්ත්වයට පත් කිරීමට කොන්දේසි නිර්මාණය කරනු ඇති අතර දෙරටේ පදිංචිකරුවන්ට ආරක්ෂිතව තම නිවෙස් කරා ආපසු යාමට ඉඩ සලසයි,” යනුවෙන් ඇමෙරිකාව සහ ප්‍රංශය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වේ. මෙම ගිවිසුම ක්‍රියාත්මක වන්නේ ද යන්න නිරීක්ෂණය කිරීම පැවරී ඇත්තේ, එම රටවල් දෙකට ය
හිස්බුල්ලා සාමාජිකයින් සටන් විරාම ගිවිසුම කඩ කළහොත් ඊට ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඊශ්‍රායලය විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත. ජනාධිපති බයිඩ්න් මෙය හඳුන්වා ඇත්තේ, ඊශ්‍රායලය “ජාත්‍යන්තර නීතියට අනුකූලව ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය රඳවාගෙන සිටිනවා,” යනුවෙනි.
“හිස්බුල්ලා සංවිධානය ගිවිසුම කඩ කර ආයුධ අතට ගැනීමට උත්සහ කළහොත් අපි පහර දෙනවා. ඒ වගේ ම, දේශසීමා ආසන්නයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම් යළි ගොඩ නැගීමට උත්සහ කළහොත් අපි පහර දෙනවා,” නෙතන්යාහු පැවසීය.
ඊශ්‍රායලයේ උතුරු දෙසින් සිටින අසල්වැසියා වන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට එරෙහි සටන අවසන් කිරීම නිසා ඊශ්‍රායල ආරක්ෂක බළකායට (IDF) “ඉරාන තර්ජනය” කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ ලැබන බව ද නෙතන්යාහු ප්‍රකාශ කළේ ය.
ලෙබනනයේ ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානය බොහෝ කලක සිට ඉරානයේ පළමු ආරක්ෂක වළල්ල ලෙස ක්‍රියාත්මක වනු දක්නට ලැබිණි. එහෙත්, හිස්බුල්ලා කණ්ඩායමේ මිසයිල අවි ගබඩාවෙන් බොහෝමයක් දැන් විනාශ වී ඇති හෙයින් ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද සමබරතාව ඊශ්‍රායලයට දෙසට වැඩිපුර නැඹුරු වී ඇති බව පෙනේ.
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය දිගු කලක් තිස්සේ සතුරන් වූ නමුත්, පසුගිය මාස 13 පුරාවට සටන් වැදුණේ ගාසා තීරයේ යුද්ධය පදනම් කරගෙන ය.
හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ, ඔවුන්ගේ ගාසා තීරයේ මිතුරන් වන හමාස් සංවිධානය පුද්ගලයින් 1,200කට මරු කැඳවමින් 2023 වසරේ ඔක්තෝබර් 7 වන දා දකුණු ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට පසු දිනයේදී ය.
නෙතන්යාහු පැවසුවේ, ලෙබනනයේ සටන් අවසන් කිරීමෙන්, හමාස් සංවිධානය හුදෙකලා වී ඔවුන්ට එල්ල වන පීඩනය ඉහළ යන බව ය.
“යුද්ධයේ දෙවන දිනයේ සිට, හමාස් තමන් වෙනුවෙන් සටන් කරනු ඇතැයි හිස්බුල්ලා සංවිධානය බලාගෙන සිටියා. හිස්බුල්ලා මේ සටනින් ඉවත් වීමත් සමග හමාස් කණ්ඩායම තනි වෙනවා,” නෙතන්යාහු පැවසීය.
ඔහු පැවසුවේ, ලෙබනනයේ සටන් අවසන් කිරීම මගින් ඊශ්‍රායල් ආරක්ෂක බළකායට ආයුධ, පතොරම් සහ හමුදා සාමාජිකයින් නැවත සැපයීමට ඉඩක් ලැබෙන බව ය.
ඊශ්‍රායල් විශ්ලේෂකයින් සඳහන් කර තිබුණේ, දීර්ඝ කාලයක් පුරා පෙරමුණු දෙකක යුද්ධ කිරීමට එරට හමුදාව සූදානම්ව හෝ සන්නද්ධව නොසිටි බව ය.
ලෙබනනයේ සටන් අවසන් කිරීමෙන්, තවමත් අවසානයක සලකුණක් නොපෙනෙන ගාසා තීරයේ පවතින සටන්වලට යෙදවීමට තවත් ඊශ්‍රායල හමුදා නිදහස් කළ හැකි වනු ඇත.
අඟහරුවාදා ධවල මන්දිරයේදී, ගාසා තීරයේ සටන් විරාමයක් ගැන බයිඩ්න්ගෙන් විමසූ අතර, ඔහුගේ රජය වෙනත් සාකච්ඡාකරුවන් වන තුර්කිය, ඊජිප්තුව සහ කටාර් සමග ඇති කර ගත් ගිවිසුමක් මත “තවත් තල්ලුවක්” කිරීමට කටයුතු කරන බව පැවසීය.
ඊශ්‍රායලයේ ප්‍රධාන අනුග්‍රාහකයා වන ඇමෙරිකාව, ලෙබනනයේ සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී ප්‍රංශය සමග එක්ව ඊට නායකත්වය දී තිබිණි.
පසුගිය ශත වර්ෂයේ වසර 20කට වැඩි කාලයක් ලෙබනනය පාලනය කළ ප්‍රංශය ද දිගුකාලීන මිත්‍ර රාජ්‍යයක් වන අතර, සටන් විරාමය නිරීක්ෂණය කිරීම හරහා ඊට සම්බන්ධ වීමට අපේක්ෂා කෙරේ. සටන් විරාමය කළමනාකරණය කිරීම සඳහා ඇමෙරිකානු හමුදාවක් නොයවන බව බයිඩ්න් තහවුරු කළේ ය.
යුද්ධ හේතුවෙන් ලෙබනනයට දැඩි හානි සිදුව ඇති අතර, පුද්ගලයින් 3,823 දෙනෙකු මිය ගොස් 15,859 තුවාල ලබා තිබේ. ඊට අමතරව, හිස්බුල්ලා පාලනය පවතින ප්‍රදේශවල පදිංචිකරුවන් මිලියනයක් අවතැන් වී සිටිති.
ලෙබනනයේ අගමැති නජීබ් මිකාටි සටන් විරාම ගිවිසුම පිළිගත් අතර එය රට තුළ “සන්සුන්තාව සහ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවරක්” ලෙස හඳුන්වමින් සිය පුරවැසියන්ට ආපසු නිවෙස් වෙත යාමට ඉඩ සලසා තිබේ.
නමුත් ඊශ්‍රායලය මෙම ගනුදෙනුවට “සම්පූර්ණයෙන් ම අනුකූලව” කටයුතු කළ යුතු බවත්, දැනට අල්ලාගෙන සිටින ස්ථානවලින් ඉවත් විය යුතු බවත්, 2006 වසරේ අවසන් වරට පැවති හිස්බුල්ලා-ඊශ්‍රායල් යුද්ධය අවසානයේ කලින් සකස් කරන ලද එක්සත් ජාතීන්ගේ යෝජනාවට ගරු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේ ය.
ඊශ්‍රායලය සහ බොහෝ බටහිර රටවල් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය ප්‍රහාරයක් දියත් කළේ, ගාසා තීරයේ යුද්ධයෙන් අවුළුවා ලූ දේශසීමා සටන්වලට වසරකට ආසන්න කාලයක් ගත වූ පසුව ය.
පලස්තීනුවන්ට සහය දැක්වීම සඳහා හිස්බුල්ලා දියත් කළ රොකට් ප්‍රහාරවලින් අවතැන් වූ ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශවල පදිංචිකරුවන් 60,000ක් පමණ ආරක්ෂිතව ආපසු පැමිණීම සහතික කිරීමට අවශ්‍ය බව ඊශ්‍රායලය පවසා තිබේ.
ඊශ්‍රායලයට සහ අල්ලා ගත් ගෝලාන් කඳුකරයට එල්ල කළ හිස්බුල්ලා ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 75 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඉන් අඩකට වඩා සිවිල් වැසියන් ය. ඊශ්‍රායල බලධාරීන්ට අනුව දකුණු ලෙබනනයේ සටන්වලදී සොල්දාදුවන් 50කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.
ලෝක බැංකුව ලෙබනනයේ ආර්ථික හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 8.5ක් (පවුම් බිලියන 6.8) ලෙස ඇස්තමේන්තු කරයි. මෙය යථා තත්ත්වයට පත්වීමට කාලයක් ගත වනු ඇති අතර, ඊට අරමුදල් සපයන්නේ කෙසේ දැයි නොදනී.
හිස්බුල්ලා සංවිධානයට ද දැඩි හානි සිදු විය. සැප්තැම්බර් 27 වන දා ඊශ්‍රායල් ආරක්ෂක බළකාය බේරූට් වෙත එල්ල කරන ලද ප්‍රහාරයෙන් මිය ගිය හිස්බුල්ලා සංවිධානයේ දීර්ඝ කාලීන ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ හසන් නස්රල්ලා ද ඇතුළුව එහි නායකයින් රැසක් ඝාතනය කෙරිණි. සතියකට පසු එල්ල කළ තවත් ප්‍රහාරයකින් ඊශ්‍රායලය, හිස්බුල්ලා සංවිධානය තෝරාගෙන සිටි ප්‍රධානියා වූ හෂේම් සැෆිඩීන් ද ඝාතනය කළේ ය.
හිස්බුල්ලා සංවිධානයේ යටිතල පහසුකම් රැසකට ද හානි සිදුවී ඇති හෙයින්, එම සංවිධානය යුද්ධය නතර කිරීමෙන් පසුව කෙසේ කටයුතු කරයි ද යන්න අපැහැදිලි ය. කණ්ඩායම දැඩි ලෙස දුර්වල වී ඇතත් එය විනාශ වී නැත.
ලෙබනනය තුළ, එය සන්නද්ධ කණ්ඩායමකට වඩා පුළුල් ය: එය පාර්ලිමේන්තුවේ නියෝජනයක් ඇති දේශපාලන පක්ෂයක් සහ ෂියා මුස්ලිම්වරුන් අතර සැලකිය යුතු සහයෝගයක් ඇති සමාජ සංවිධානයකි.
හිස්බුල්ලා සංවිධානයේ විරුද්ධවාදීන් මෙම අවස්ථාව එම සංවිධානයේ බලපෑම සීමා කිරීමට ලැබුණු අවස්ථාවක් ලෙස දැකි ය හැකි ය. සටන් ඇරඹීමට පෙර හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ “රාජ්‍යයක් තුළ රාජ්‍යයක්” ලෙස බොහෝ විට හඳුන්වන ලදී. එමෙන් ම, මෙය අභ්‍යන්තර ප්‍රචණ්ඩත්වයට තුඩු දෙනු ඇතැයි බොහෝ දෙනා බිය පළ කරති.
සැප්තැම්බර් මාසයේ සටන් තීව්ර වීමෙන් පසු, ලෙබනනයේ දකුණ, නැගෙනහිර සහ බේරූට් අගනුවර හිස්බුල්ලා පාලනය පවතින ප්‍රදේශ යැයි සැලකෙන ස්ථාන ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දෛනික ප්‍රහාර සිය ගණනක් එල්ල කර ඇත.
අඟහරුවාදා නෙතන්යාහු සිය කැබිනට් මණ්ඩලය සමග සටන් විරාම ගිවිසුමක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවට වාර්තා පළවෙද්දී, ඊශ්‍රායල් ආරක්ෂක හමුදා සිය ප්‍රහාර අඛණ්ඩව කරගෙන ගියේ ය. එහිදී, අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකුට මරු කැඳවමින් බේරූට් වෙත ප්‍රහාරයක් ද එල්ල කෙරිණි.
BBC Sinhala