රජයේ V8 වෙන්දේසිය

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. අනෙකුත් රජයේ මන්ත්‍රීවරුන්ටද ඉන්ධන කාර්යක්ෂමතාව සහිත සුඛෝපබෝගී නොවන වාහනයක් ලබා දෙනු ඇතැයි එම නිලධාරියා පැවැසුවේය. ඒ අනුව නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාටම කුමක් හෝ වාහනයක් සිය නිල රථය ලෙස ලැබෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

නව රජයේ අමාත්‍යවරුන්ට නව නිල වාහන නොලැබෙනු ඇති බවත් ඒ ඒ අමාත්‍යාංශවල සිටි පසුගිය රජයේ අමාත්‍යවරුන් බාරදුන් නිල වාහන නව රජයේ කැබිනට් අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙනු ඇති බවත් එම රාජ්‍ය නිලධාරියා පැවැසුවේය.

මන්ත්‍රීවරුන්ට ඔවුන් තේරී පත්වූ දිස්ත්‍රික්ක වලට රජයේ කටයුතු සඳහා විශාල දුරක් ගෙවමින් ගමන් කිරීමට තිබෙන බැවින් මෙලෙස මන්ත්‍රීවරුන් 159 දෙනාටම නිල වාහන ලබාදීමට රජය තීරණය කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථ ඔවුන්ට ලබා නොදෙන බවද එම නිලධාරියා පැවැසුවේය

මෙම වන විට නඩත්තු කිරීමට අපහසු රජයේ වාහන 344 ක් හඳුනාගෙන තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. එම වාහන ඇත V8 වැනි සුඛෝපභෝගී මෝටර් රථ මාදිලි තිබෙන බවත් ඒවා නඩත්තු කිරීමට රජයට විශාල වියදමක් දැරීමට සිදුව ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය. එම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට සැලසුම් කර තිබෙන බවත් ඉන් ලැබෙන මුදල් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වාහන මිලදී ගැනීමට භාවිත කරනු ඇති බවත් ඔහු පැවැසුවේය

මන්ත්‍රීවරයකුට නිල වාහනයක් ලබාදීමේදී සළකා බලන ප්‍රධාන කරුණ නම් ඉන්ධන කාර්යක්ෂමතාව බවත් ඉන්ධන කා දමන සුඛෝපභෝගී වාහන කිසිවෙකුට ලබා නොදෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

වෙන්දේසියෙන් ලැබෙන මුදල් ප්‍රමාණවත් නොවූහොත් ජනාධිපති කාර්යාලය සතු වාහන කීපයක් නිදහස් කර ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බවද එම නිලධාරියා පැවැසුවේය.

 

 

Lankadeepa – දමිත් වික්‍රමසේකර