මන්ත්‍රි වාහන බලපත්‍රය  ලබාදීම නතර කළේ  ගෝඨාභය රාජපක්ෂ  මැතිතුමා

මන්ත්‍රි වාහන බලපත්‍රය  ලබාදීම නතර කළේ  ගෝඨාභය රාජපක්ෂ  මැතිතුමා

නව රජය ප්‍රකාශ කර සිටිනවා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හට රජයේ වියදමින්  වාහන ලබාදී වසර 05 ක් රජයවිසින් නඩත්තු කරන බවත් එයින් ජනතාව මත විශාල බදු බරක් පැටවෙන බව පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2024.11.25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වෙනි සමාලෝචනය අවසන්වෙලා ඒ අනුව කටයුතු කරන්න රජය එකඟවෙලා තිබෙනවා. මෙහිදි විශේෂයෙන්ම දැනට  ගෙනියන බදු ප්‍රතිපත්තිය සහ ජනතාවගේ  සහන කප්පාදු කිරීම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට එකඟ වුණා කියලා වෙනත් ආකාරයකින් මෙහිදි ජනතාවට ප්‍රකාශ කර සිටින්නේ. ජනතාවගේ බදු  අඩු කරනවා,  බදු සහන දෙනවා, වෙනත් සහන දෙනවා කියලා ජනතාවට දිගින් දිගටම බොරු කියපු , බොරු කියලා ජනතාවගේ  ඡන්ද ගත්ත මේ ජනතා විමුක්ති පෙරමුණ  රජය මේ වන කොට  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟවෙලා තිබෙනවා. තවදුරටත් රනිල් වික්‍රමසිංහ  මහතා ගෙනගිය අප පවා ප්‍රතික්ෂේප කළ  ඒ බදු ක්‍රමයත්, ජනතාවගේ සහන කප්පාදු කිරීමේ ක්‍රමවේදයත් දිගටම අරගෙන යන්නේ.

ඒ වගේම  ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර සිටිනවා ඔවුන් සතුව  විශේෂඥයෝ සහ රට කරන්න පුළුවන්  සියලුදෙනා ඔවුන් සතුව  ඉන්නවා කියන කාරණය. නමුත් අයවැය  ඉදිරිපත් කරන්න බොහෝම  මැලිවෙන ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ. අයවැය ඉදිරිපත් කිරීම කල්දැමීමේ ස්වභාවයක් පේන්නේ. දැන්  මේ ප්‍රකාශ කරන හැටියට 2025 වසර වු අයවැය ලේඛනය  ගේන්න යන්නේ  2025 පෙබරවාරි මාසය පමණ වන විටයි. මෙහිදි පෙනියන කාරණය  තමයි ඊලඟ අයවැයෙන්  රටේ ජනතාවගේ  බදු බර , සියලු දේවල් තවත් වැඩි කරලා දාන්න මිසක් අඩු කර දමන්නට මේ පිරිසගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේම  දෙනවා කියපු වැටුප් වර්ධක  ඒ කිසිම දෙයක් දෙන්න අදහසක් නැහැ. ඒ නිසා  ලබන ජනවාරි වෙන කොට පළාත් පාලන ඡන්දයක් තියලා ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරපු ආකාරයෙන්ම බොරුවෙන් පළාත් පාලන මැතිවරණයත් දිනලා ඉන්පසු  ජනතාවට අයවැය ගෙන එන්නට  සූදානම් වී ඇති බව  පේන්නේ. රජයක් හැටියට ඉතාම පහසුවෙන් අයවැය ලේඛනය ඉදිරිපත් කරලා ලබන වසර සඳහා අයවැය  පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්න තුනෙන් දෙකක බලයක් තිබෙන පාර්ලිමේන්තුවක කිසිම ප්‍රශ්නයක් නැහැ.

දිගින් දිගටම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළ දෙයක් තමයි  මේ මහජන මුදලින්  ජනතාව නඩත්තු කිරීම කියන කාරණය. එහිදි දිගින් දිගටම පහර ගැහුව්වා මේ තීරු බදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍රයක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබාදීම සම්බන්ධයෙන්. ඔවුන් සියලුදෙනාම පාර්ලිමේන්තුවෙන් ඒ බලපත්‍රය ලබාගන්නා ගමන්  ඔවුන් එයට විරුද්ධව ජනතාවගේ හිතේ  වෛරයක් ඇති කළා. හැබැයි  මේ තීරු බදු රහිත  මන්ත්‍රි වාහන බලපත්‍රය  ලබාදීම නතර කළේ  ගෝඨාභය රාජපක්ෂ  මැතිතුමා පසුගිය පාර්ලිමේන්තුවේ. ඒ වගේම ඒ වාහන බලපත්‍රය තුළ ජනතාවගේ වෛරය වපුරපු මේ රජය දැන් ප්‍රකාශ කර සිටිනවා සියලු මන්ත්‍රිවරුන්ට රජයේ වියදමින්  වාහනයක් ලබාදෙනවා කියලා. රජයෙන් අහන්න කැමති තීරු බදු රහිත  වාහන  බලපත්‍රයක් ලබාදුන්නාම  රජයට අහිමි වෙන්නේ රජයට ලැබිය යුතු තීරු බදු ප්‍රමාණයක්. ජනතාවගේ නියෝජිතයෝ විදිහට පැමිණිලා  තීරු බදු රහිත වාහන  බලපත්‍ර ලබාදෙන එක දැඩි ලෙස විවේචනය කරපු  කණ්ඩායමක් තමන් බලයට පැමිණි විගස  එතනින් ඉදිරියට ගිහිල්ලා  ජනතා නියෝජිතයින්ට රජයේ වියදමින් වාහන ලබාදිලා  රජයේ වියදමින් අවුරුදු 05 ක්  තිස්සේ ඒ වාහන නඩත්තු  කරන්න යනවා කියන එක  බදු ගෙවන ජනවතාව මත පටවන  මහා විශාල බරක් හැටියට තමයි  අපිට පෙනි යන්නේ.

 

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආහාර වේල සම්බන්ධයෙන්  පහුගිය කාලයේ  දිගින් දිගටම බොරු චෝදනා කරලා ජනතාවගේ හිත් තුළ පාර්ලිමේන්තුවේ කන කෑමවේල ගැන  මහා වෛරයක් ඇති කළා. නමුත් දැන් ඉතාම නිර්ලැජ්ජිත විදිහට  ඒ පාර්ලිමේන්තු කෑමවේල අත්‍යවශ්‍යයි කියන තැනක  ඔවුන් ඉන්නවා. ජනතාවගෙන් කලින් සමාව  ගතයුතුයි ජනතාවගේ හිත තුළ මෙවන්  කෑම වේලකට වෛරයක් ඇති කරපු පක්ෂයක් හැටියට.

අපේ රටේ සංස්කෘතියක් තිබෙනවා. යම්කිසි සංස්කෘතියකට අනුව  කටයුතු කරන රටක්. මේ රටේ  සිංහල බෞද්ධ සංස්කෘතිය මුල් කරගත් සංස්කෘතියකුත් ඒ අනුසාරයෙන් නිර්මාණය වෙච්ච  දමිළ හින්දු සංස්කෘතියක්, කිතුනු සංස්කෘතියක් සහ  මුස්ලිම් සංස්කෘතියක් උප සංස්කෘතින් හැටියට පවතින රටක්. මේ රටේ සාමාන්‍යයෙන්  රාජ්‍ය කටයුතු කරද්දි මෙතෙක්කල් සිදු කළේ ජයමංගල ගාථා කියලා. එය යම්කිසි සංස්කෘතික අංගයක්  හැටියට, අපේ සංස්කෘතික අනන්‍යතාවය  පෙන්වන කාරණයක් හැටියටයි. හැබැයි මේ ජයමංගල ගාථා ඉවත් කිරීම පිටිපස්සේ  ඩයස්පෝරාවේ ඉල්ලීමක්  හෝ බටහිර රටවල්වල ඉල්ලීමක් තිබෙනවාද? නැත්ද? කියන කාරණය සම්බන්ධයෙන් අද ජනතාවට ලොකු සැකයක් ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා මේ රජයට  වගකීමක් තිබෙනවා ඒ සම්බන්ධයෙන්  පැහැදිලි කරන්න ඒ සම්ප්‍රදායිකව කරගෙන ආපු ජයමංගල ගාථා  කීම නතර කළේ  වියදම අඩු කරන්නද? නැතිනම්  කුමන කාරණයක් සඳහාද? නතර කළේ කියලා.

අපි දැක්කා මේ රජයේ පළවෙනි සංවර්ධන ව්‍යාපෘතිය නැතිනම් ආයෝජන  ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා. මේ රජය උගංඩාවෙන් සල්ලි ගෙනල්ලා ජනතාව සුඛිත මුදිත කරනවා කියලා බලයට ආපු ආණ්ඩුවක්. ආණ්ඩුව ගත්ත ගමන් කළේ නිදන්  හාරා ජනතාවට මුදල් සෙවීමේ  ආයෝජන ව්‍යාපෘතියකට  අත ගැසුවා. ඒ ආයෝජන ව්‍යාපෘතීය එහෙම් පිටින්ම  සම්පූර්ණ අසාර්ථක ව්‍යාපෘතියක්  බවට පත්වෙලා තිබෙනවා. රජයට  ලැබුණු නිදානය කලු ගලක්  බවට පත්වෙලා තිබෙනවා. මෙයත් එක්තරා විදිහක දෛවයේ සරදමක්. කලුගල්  සම්බන්ධයෙන් බොරු කියපු  අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ  රජය  හම්බන්තොට  වාරයේ කලුගලක්  තිබෙනවා කියලා  බොරු කිව්වා, ඒ වගේම  කොළඹ පෝට්සිටිය පුරවන්න මේ රටේම තිබෙන කලුගල්  ඕන කියලා බොරු කිව්වා. ඒ වගේ බොරු කියපු අනුර කුමාර දිසානායක  ජනාධිපතිතුමාගේ  පළවෙනි ආයෝජන ව්‍යාපෘතියෙන් ලැබුණේ කලුගලක් කියන එක  ඉතාම කණගාටුදායක තත්වයක්. හැබැයි  අපි කියනවා ගරු ජනාධිපතිතුමනි, ඔබගේ රජය නිදන් සොයන්න යන්න එපා ඔබතුමන්ලාගේ රජය පොරොන්දු වුණු ආකාරයට රට සංවර්ධනය කරන්න. හොරකම් කරලා පිටරට  තිබෙනවා කිව්ව සල්ලි අරගෙන ඇවිල්ලා  මේ රට සංවර්ධනය  කරලා ජනතාවට පෙන්වන්න. මේ රජය රාජ්‍ය අනුග්‍රාහයෙන්  නිදන්  හැරීම නවත්තන කියලා කාරුණික ඉල්ලීම කරනවා.

පහුගිය කාලයේ මේ  දේශපාලඥයෝ කරපු ඕනෑම දෙයක් සඳහාම වෛරය වැපුරුවා. ජනතාව ඉදිරියේ මහා වෛරී ප්‍රකාශ කරමින් දේශපාලඥයින්  වෛරයට පාත්‍ර කළා. 225 ම හොරු, වංචනිකයෝ, දූෂිතයෝ කියමින්  මහා විශාල වෛරයක් මිනිස්සුගේ හිත් තුළ පැතිරෙව්වා. පහුගිය දවසක තිබුණා ඇබා කියන සංගීත  කණ්ඩායමේ දර්ශනයක්. එහිදි අපි දැක්කා ගරු අගමැතිතුමියත්,  ටිල්වින් සිල්වා මහතාත් ඇතුලු ජනතා විමුක්ති පෙරමුණේ  කොටසක් ලක්ෂ පහක ටිකට් ඇති මේසයක වාඩිවෙලා කමින්, බොමින්, ප්‍රිතිවෙමින්  එම සංදර්ශනය නරඹන ආකාරය. මෙය එහෙම වුණා කියලා  ඒ සම්බන්ධයෙන් අපි  ඊරිසියා කරන්නේ නැහැ. අපි ඒ සම්බන්ධයෙන්  වරදක් දකින්නේ නැහැ. නමුත්  මේ රටේ ජනතාවගෙන්  මම අහනවා අපේ රජය කාලයේ  බැරිවෙලාවත් නාමල් රාජපක්ෂ මැතිතුමා හෝ  අපේ රජයේ ඇමති කෙනෙක්  මේ වගේ ගියානම්   කොයි වගේ කතා කියයිද කියන කාරණය ඔබගේ හදවතින්  අහන්න කියලා ඉල්ලීම කරනවා.” යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.

 

 

 

 

 

 

එතුමා මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් -:         

කවුරුහරි රජයට පාඩුවක්, හානියක් , වංචාවක් කරලා තිබෙනවා නම්  අය කරගන්න. එය සිදු කරන්නේ නැතිනම් ඒ අදාළ පුද්ගලයාට නඩු දාන්න. ඒක  ජනතාවට කිය කියා කෙදිරි ගා ගා ඉන්න එපා. ඔබතුමන්ලා පත් කළේ ඒ දේ කරන්න. තාම මේ රජය කරන්නේ විපක්ෂය කරන්න ඕන දේ කියන දේ තමයි අපිට පේන්නේ.

 

තිලක් තේනුවර,

මාධ්‍ය අංශ ප්‍රධානි,

මාධ්‍ය මධ්‍යස්ථානය,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.