ඔබේ දරුවා ROBLOX ඔන්ලයින් ක්‍රීඩාවේ යෙදෙනවා ද?
ඔබේ දරුවා ROBLOX ඔන්ලයින් ක්‍රීඩාවේ යෙදෙනවා ද?
වයස අවුරුදු 13ට අඩු දරුවන් වෙනත් අයට පණිවිඩ යැවීම අවහිර කරන බව රොබ්ලොක්ස් නිවේදනය කර තිබේ. ඔන්ලයින් ක්‍රීඩා වේදිකාවක් වන රොබ්ලොක්ස් මෙම පියවර ගෙන ඇත්තේ, දරුවන් ආරක්ෂා කිරීමේ නව උත්සහයන්ගේ පියවරක් ලෙස ය.
මේ යටතේ තහවුරු කරන ලද දෙමව්පියෙකු හෝ භාරකරුවෙකුගේ අවසරයකින් තොරව ළමා පරිශීලකයින්ට ඔන්ලයින් ක්‍රීඩා අතරතුර ඍජු පණිවිඩ යැවීමට නොහැකි වනු ඇත.
මේ අනුව, තම දරුවන් ඉන්ටර්නෙට් ඔස්සේ ඇසුරු කරන මිතුරන්ගේ ලැයිස්තුව බැලීම ඇතුළුව දරුවාගේ ගිණුම පරීක්ෂා කර බැලීමට සහ කළමනාකරණය කිරීමට මෙන් ම ඔවුන්ගේ ක්‍රීඩා කාලය සඳහා දෛනික සීමා පැනවීමට ද දෙමව්පියන්ට හැකි වනු ඇත.
ඔෆ්කොම් පර්යේෂණයකට අනුව, එක්සත් රාජධානියේ අවුරුදු 8 සිට 12 දක්වා ළමුන් අතර වඩාත් ජනප්‍රිය ඔන්ලයින් ක්‍රීඩාව වන්නේ, රොබ්ලොක්ස් ය. කෙසේ වෙතත්, එය දරුවන් සඳහා වඩාත් සුරක්ෂිත කරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත්ව ඇත.
මෙම වෙනස්කම් නොවැම්බර් 18 වන දා සිට ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර, 2025 මාර්තු අග වන විට සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කරන බව සමාගම පැවසීය.
මින් අදහස් වන්නේ, කුඩා දරුවන්ට තවමත් ඉන්ටර්නෙට් ක්‍රීඩාවලදී සෑම කෙනෙකු ම දකින පොදු සංවාදවලට ප්‍රවේශ වීමට හැකි වනු ඇති බව ය. මේ නිසා, ඔවුන්ට තවමත් ඔවුන්ගේ මිතුරන් සමග කතාබහ කළ හැකි ය – එහෙත් දෙමාපියන්ගේ අවසරයකින් තොරව පෞද්ගලික සංවාද පැවැත් විය නොහැක.
රොබ්ලොක්ස්හි ප්‍රධාන ආරක්ෂක නිලධාරී මැට් කවුෆ්මන් පැවසුවේ, සෑම දිනක ම මිලියන 88ක ජනතාවක් මෙම ක්‍රීඩාවේ නිරත වන බව ය. සිය මුළු සේවකයින්ගෙන් 10%කට වඩා – දහස් ගණනක් – වේදිකාවේ ආරක්ෂිත විශේෂාංග සම්බන්ධයෙන් ක්‍රියා කරන බව ය.
“අපේ ක්‍රීඩා වේදිකාව ප්‍රමාණයෙන් වර්ධනය වන හින්දා, ආරක්ෂාව සඳහා අපේ ප්‍රවේශය ඒ සමග වෙනස් වෙන්න ඕනේ කියලා අපි සැම විට ම හඳුනාගෙන තියෙන්නේ,” ඔහු පැවසීය.
වේදිකාව හරහා දරුවන්ට ඍජු පණිවිඩ (DM) යැවීම තහනම් කිරීමට අමතරව, මේ මගින් දෙමාපියන්ට තම දරුවාගේ ක්‍රියාකාරකම් පහසුවෙන් බැලීමට සහ කළමනාකරණය කිරීමට තවත් ක්‍රම ලබා දෙනු ඇත.
දෙමව්පියන් සහ භාරකරුවන් ඔවුන්ගේ ම සම්බන්ධිත ගිණුම හරහා තම දරුවා සඳහා මාපිය අවසර ලබා ගැනීමට රජය විසින් නිකුත් කරන ලද හැඳුනුම්පතක් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් සමග ඔවුන්ගේ අනන්‍යතාව සහ වයස තහවුරු කළ යුතු ය.
අනන්‍යතා සත්‍යාපනය බොහෝ තාක්ෂණ සමාගම් මුහුණ දෙන අභියෝගයක් බව පිළිගත් මැට් කවුෆ්මන්, දරුවාගේ ගිණුමේ නිවැරදි වයස යොදා ඇති දැයි තහවුරු කර ගැනීමට වග බලා ගන්නා ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ ය.
“වයස මොකක් වුණත්, අපේ ඉලක්කය සෑම පරිශීලකයෙකු ම ආරක්ෂිතව තබා ගැනීම,” ඔහු පැවසීය.
“ගිණුම් හදනකොට සහ දරුවන් ලියාපදිංචි කරන කොට ඒ අයගේ නිවැරදි වයස ම භාවිත කරනව ද කියලා සහතික කර ගන්න දරුවන් සමග කටයුතු කරන්න කියලා අපි දෙමාපියන්ව දිරිමත් කරනවා.”
එක්සත් රාජධානියේ ළමා පුණ්‍යායතනයක් වන NSPCCහි ඔන්ලයින් ළමා ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති පිළිබඳ සහකාර ප්‍රධානී රිචඩ් කොලර්ඩ් මෙම වෙනස්කම් හැඳින්වූයේ, “නිවැරදි දිශාවට තැබූ ධනාත්මක පියවරක්” ලෙස ය.
“දරුවන්ට ආරක්ෂිත අත්දැකීමක් ලෙසට පරිවර්තනය කිරීම” සඳහා පරිශීලක වයස පරීක්ෂා කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ ඵලදායී ක්‍රම මගින් ඔවුන්ට සහය විය යුතු බව ඔහු පැවසීය.
“කුඩා දරුවන් ආරක්ෂා කිරීම සහ සිය වෙබ් අඩවිය මගින් සිදුවන හානිය අවම කිරීම උදෙසා රොබ්ලොක්ස් මෙය ප්‍රමුඛත්වයේ ලා ක්‍රියා කළ යුතු යි ,” ඔහු තවදුරටත් පැවසීය.
පරිණත මාර්ගෝපදේශ
වෙබ් ක්‍රීඩා වේදිකාව තුළ අන්තර්ගතයන් පිළිබඳ විස්තර සරල කිරීමට සැලසුම් කර ඇති බව ද රොබ්ලොක්ස් නිවේදනය කළේ ය.
එය ක්‍රීඩාවේ ස්වභාවය සරලව ගෙනහැර දක්වන “අන්තර්ගත ලේබල්” යටතේ ඇතැම් ක්‍රීඩා සහ අත්දැකීම් සඳහා වයස් නිර්දේශ ඇතුළත් කර තිබේ.
මෙයින් අදහස් කරන්නේ, දෙමව්පියන්ට දරුවාගේ වයසට වඩා තම දරුවාගේ පරිණතභාවය මත පදනම්ව තීරණ ගත හැකි බව ය.
ඊට, මෘදු ප්රචණ්ඩත්වය හෝ භීතිය ඇතුළත් වන “අවම” කාණ්ඩයේ සිට ප්‍රබල ප්රචණ්ඩත්වය, නුසුදුසු හෝ ලේ වැගිරීම් වැනි වඩා වැඩිහිටි අන්තර්ගතයන් දක්වා “සීමා” ඇතුළත් විය හැකි ය.
සාමාන්‍යයෙන්, වයස අවුරුදු නවයට අඩු රොබ්ලොක්ස් පරිශීලකයින්ට ප්‍රවේශ විය හැක්කේ “අවම” හෝ “මෘදු” අත්දැකීම් කාණ්ඩයේ ක්‍රීඩා සඳහා පමණි – නමුත් ඔවුන්ට “මධ්‍යස්ථ” ක්‍රීඩා සඳහා ප්‍රවේශ වීමට දෙමාපිය කැමැත්ත ලබා දීම මගින් ඉඩ දිය හැක.
නමුත් පරිශීලකයින්ට අවම වශයෙන් වයස අවුරුදු 17ක් වන තුරු සහ ඔවුන්ගේ වයස තහවුරු කිරීම සඳහා වෙබ් වේදිකාවේ මෙවලම් භාවිත කරන තුරු “සීමා කළ” ක්‍රීඩා වෙත ප්‍රවේශ විය නොහැකි වනු ඇත.
මෙය, පසුගිය සඳුදා සිට වීඩියෝ ක්‍රීඩාවල නිරත වන්නන්ට කෙටි පණිවිඩ හෝ හඬ පණිවිඩ භාවිතයෙන් එකිනෙකා සමග සන්නිවේදනය කළ හැකි “සමාජ සබඳතා” පැවැත්වීමේ පහසුකමින් වයස අවුරුදු 13ට අඩු අය තහනම් කරන බවට රොබ්ලොක්ස් නොවැම්බර් මාසයේදී කරන ලද නිවේදනය අනුගමනය කිරීමකි.
රොබ්ලොක්ස් දැනුම් දී ඇත්තේ, දෙසැම්බර් 3 වන දා සිට, රොබ්ලොක්ස් වීඩියෝ ගේම් නිර්මාණය කරන්නන් විසින් සිය ක්‍රීඩා, ළමුන්ට සුදුසු දැයි නිර්දේශ කළ යුතු බව ය. මෙම තොරතුරු ලබා නොදෙන වීඩියෝ ගේම්ස් වයස අවුරුදු 13ට අඩු දරුවන් සඳහා පිවිසීම අවහිර කරන බව ද සමාගම විසින් ගේම්ස් නිර්මාණය කරන්නන්ට දැනුම් දී තිබේ.
මාර්ගගත ආරක්ෂණ පනත යටතේ වෙබ් වේදිකාවල නීති විරෝධී හා හානිකර තොරතුරු පිළිබඳ නව නීතිරීති සපුරාලීමට සූදානම් වන අවස්ථාවකදී එක්සත් රාජධානියේ ළමුන් විසින් ප්‍රවේශ වන සහ භාවිත කරන වෙබ් වේදිකා මෙම නව වෙනස්කම් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
නීතිය ක්‍රියාත්මක කරන එක්සත් රාජධානියේ නිරීක්ෂක ආයතනය වන ඔෆ්කොම්, අනතුරු අඟවා ඇත්තේ සමාගම් තම වෙබ් වේදිකාවල ළමයින් ආරක්ෂිතව තබා ගැනීමට අපොහොසත් වුවහොත් දඬුවම්වලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ය.
සමාගම්වල නව මාර්ගෝපදේශ දැන ගැනීම සඳහා මාර්ගොපදේශ මාලාවක් දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරනු ඇත.
BBC – leew macmohan