රුසියානු හමුදා විසින් අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිලයක් යුක්‍රේනයට

රුසියානු හමුදා විසින් අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිලයක් යුක්‍රේනයට

යුක්‍රේනය සමග පවතින යුද්ධය සඳහා රුසියානු හමුදා ඊයේ (21දා) ප්‍රථම වරට අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් යොදාගෙන ඇති බව යුක්‍රේන රජය විසින් නිවේදනය කර තිබේ. මේ අනුව රුසියානු හමුදා විසින් අදාළ බැලැස්ටික් මිසයිලය යුක්‍රේනයේ කිව් අගනුවර වෙත යොමු කර ඇති බව වාර්තා වී ඇත. කෙසේ වුවද ප්‍රබල අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිලය එල්ල කර ඇත්තේ යුක්‍රේනයේ කුමන ප්‍රදේශයක් ඉලක්ක කරගෙනද හා ඉන් සිදුව ඇති හානිය පිළිබඳව යුක්‍රේන හමුදා විසින් ඊයේ සවස වන විට වාර්තා කර නොතිබිණි.

රුසියානු හමුදා විසින් අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිලයක් යුක්‍රේනය වෙත යොමු කර ඇත්තේ යුක්‍රේන හමුදාවන් විසින් එංගලන්තය විසින් සපයන ලද දිගු දුර ස්ටෝම් ශෑඩෝ මිසයිලයක් පසුගියදා රුසියානු කලාපය වෙත යොමු කිරීමට ප්‍රතිචාර වශයෙන් බව වාර්තා වී තිබේ. කෙසේ වුවද රුසියානු හමුදා පවසා ඇත්තේ යුක්‍රේන හමුදා විසින් එල්ල කර ඇති ස්ටෝම් ශෑඩෝ මිසයිල දෙකක් සිය ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් වෙඩි තබා බිම හෙළා ඇති බවයි.