අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් යනු කුමක් ද?

අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් යනු කුමක් ද?

යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන පරිදි රුසියාව විසින් යුක්රේනය අවි අත්හදා බැලීමේ භූමියක් ලෙස භාවිතා කරනු ලබයි.

“වේගය, උන්නතාංශය වැනි සියලු ලක්ෂණ බැලුව ම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයකට සමාන යි” ඔහු බ්‍රහස්පතින්දා උදෑසන නැඟෙනහිර නීප්රෝ නගරයට එල්ල වූ ප්‍රහාරය ගැන අදහස් දක්වමින් පැවසීය.

ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දැක්වීම රුසියාව ප්‍රතික්ෂේප කර ඇති අතර, බටහිර නිලධාරීන් කිහිප දෙනෙකු අදාළ මිසයිලය සැබවින්ම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් යැයි සැක පළ කර ඇත.

මෙය තහවුරු වුවහොත්, සාමාන්‍යයෙන් ICBM ලෙස හඳුන්වන මෙම අවිය – ලෝකයේ කිනම් හෝ ස්ථානයක ගැටුමකදී භාවිත කළ පළමු අවස්ථාව මෙය වනු ඇත.

එසේ නම් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල යනු කුමක් ද? සහ ඒවායේ භාවිතය එතරම් වැදගත් වන්නේ ඇයි?

ICBM යනු කුමක් ද?

ICBM යන කෙටි නාමයෙන් හැඳින්වෙන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල, ඉතා දිගු දුරකට යුද ශීර්ෂ රැගෙන යාම සඳහා නිර්මාණය කර ඇති ආයුධ වේ.

සෑම මිසයිලයකට ම ස්වාධීනව මෙහෙයවිය හැකි යුද ශීර්ෂ කිහිපයක් තිබිය හැකි අතර විවිධ ඉලක්ක වෙත පහර දිය හැකි ය.

1957 අගෝස්තු මාසයේදී ICBM අත්හදා බැලූ පළමු රට සෝවියට් සංගමය වූ නමුත්, දැන් රුසියාවට අමතරව එක්සත් ජනපදය සහ චීනය සතුව විශාල ගොඩබිම් මිසයිල අවි ගබඩා ඇති අතර එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉන්දියාව, ඊශ්‍රායලය සහ උතුරු කොරියාව සතුව කුඩා හෝ සබ්මැරීන්වල සිට එල්ල කළ හැකි මිසයිල තිබේ.

ICBM වලට අනෙකුත් බැලස්ටික් මිසයිල වලට වඩා විශාල පරාසයක් සහ වේගයක් ඇති අතර, ඒවාට විශාල බරක් රැගෙන යා හැකිය.

ICBM වලට කොපමණ දුරක් ගමන් කළ හැකි ද?

සමහර මිසයිලවලට බොහෝ දුර ගමන් කළ හැකි වුව ද, අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් සඳහා වන සම්මත නිර්වචනය අනුව නම්, ඊට කිලෝමීටර් 5,500කට වැඩි පරාසයක් තිබිය යුතු ය.

රුසියාව එල්ල කළ මිසයිලය එරට දකුණු දිග ඇස්ට්‍රකන් කලාපයෙන් එල්ල කළ එකක් බවට විශ්වාස කරනු ලැබේ.

රුසියානු අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයකට (ICBM) කිලෝමීටර් 10,000කට වඩා වැඩි පරාසයක් තිබිය හැක, එනම් මෙම කලාපයෙන් එල්ල කරන මිසයිලයකට න්‍යායාත්මකව ගත් කළ එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ දක්වා ළඟා විය හැකි ය.

ICBM වලට කෙතරම් වේගයෙන් ගමන් කළ හැකි ද?

යුක්රේනයේ නීප්රෝ වෙත පහර දීම සඳහා රුසියාව RS-26 Rubezh මිසයිලයක් භාවිතා කළ බවට අනුමාන කෙරේ. මෙම මිසයිලවල වේගය 24,500km/h – එනම් තත්පරයකට කිලෝමීටර් 7කට ආසන්න වේ.

ඒවා බැලස්ටික් මිසයිල ලෙස හඳුන්වනු ලබන්නේ, ඒවා රොකට්ටුවක් මගින් බලගැන්වෙන නිසා අතර, ඉලක්කය දෙසට බල රහිත බැසීමකට පෙර එය වායුගෝලයට ඉහළ ස්ථරයක් වෙත ගමන් කරයි.

මෙම ගමන් පථය ඔවුන්ට වේගය ලබා දෙයි. වඩාත් පැතලි ගමන් පථයක් ඇති මන්දගාමී කෲස් මිසයිලවලට වඩා මේවා ප්‍රතිග්‍රහණය කිරීම දුෂ්කර වේ.

ICBM යනු න්‍යෂ්ටික මිසයිල ද?

අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල (ICBM) න්‍යෂ්ටික හෝ සාම්ප්‍රදායික යුද ශීර්ෂවලින් සන්නද්ධ කළ හැක.

රුසියාව එල්ල කළ මිසයිලය න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන ගිය බවට කිසිදු යෝජනාවක් නොමැත.

යුක්රේන ගුවන් හමුදාවට අනුව, ප්‍රහාරයෙන් “සැලකිය යුතු හානියක්” සිදුව නොමැති නමුත් ඔවුන් සිදුව ඇති හානි හෝ ජීවිත හානි පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොකළේය.

ICBM සඳහා කොපමණ මුදලක් වැය වේ ද?

රුසියාව සිය අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල (ICBM) වැඩසටහන සඳහා කොපමණ මුදලක් වැය කරන්නේ දැයි නොදන්නා , නමුත් එක්සත් ජනපදය කොපමණ මුදලක් වියදම් කරන්නේ දැයි අපි දනිමු.

ඩොලර් බිලියන 140 ක අයවැයක් සමග පෙන්ටගනය ජූලි මාසයේදී සිය නවතම සෙන්ටිනල් ICBM වැඩසටහන හරිතකරණය කළේ ය.

තනි සෙන්ටිනල් ICBM එකක වියදම ඩොලර් මිලියන 162 දක්වා ඉහළ ගොස් තිබේ.

ඕනෑම මිනුමක් අනුව, සහ සියලු රටවල් සඳහා, මේවා ඇදහිය නොහැකි තරම් මිල අධික ආයුධ වේ.

A Russian Yars intercontinental ballistic missile launcher rolls on Red Square during the Victory Day military parade in central Moscow on May 9, 2024.

ඡායාරූප මූලාශ්‍රය,Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,මොස්කව්හි මැයි දින උත්සවවලදී රුසියාව නිතරම තම ICBM ආයුධ පෙළපාළි පවත්වයි – මෙම Yars මිසයිල විදිනය එවැන්නකි

තහවුරු වුවහොත් රුසියාව දැන් මෙම මිසයිලය එල්ල කර ඇත්තේ ඇයි?

රුසියානු පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් දින 1,000කට වැඩි ගැටුමකින් පසු යුක්රේන යුද්ධය ක්‍රමයෙන් උණුසුම් වෙමින් තිබේ.

2024 අගෝස්තු ආක්‍රමණයකදී යුක්රේනය වර්ග කිලෝමීටර් 1,000කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් අත්පත් කරගෙන සිටි රුසියාවේ කර්ස්ක් ප්‍රදේශයට උතුරු කොරියානු හමුදා යෙදවීම ගැටුමේ සැලකිය යුතු තීව්‍රවීමක් සලකුණු කළේය.

ඇතැම් විට එහි ප්‍රතිඵලයක් ලෙස, ජනාධිපති බයිඩන් විසින් ප්‍රථම වරට රුසියානු භූමිය තුළ ‘Atacms’ මිසයිල පද්ධතිය භාවිතා කිරීමට අවසර ලබා දුන් අතර, බ්‍රිතාන්‍ය හෝ ප්‍රංශ ‘Storm Shadow/Scalp’ මිසයිල ද රුසියානු ඉලක්ක වෙත එල්ල කර ඇත.

යුක්රේනය තම භූමියට පහර දීම සඳහා දිගු දුර මිසයිල භාවිතා කිරීමට තෝරා ගන්නේ නම්, තමන් ද ඊට “සුදුසු” ප්‍රතිචාරයක් ලබා දෙන බවට රුසියාව අවධාරණය කර තිබේ.

ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ධවල මන්දිරයට පැමිණීමට සූදානම් වීමත් සමඟ මෙම ගැටුම් උත්සන්න වීම සිදුවෙමින් තිබේ.

යුක්රේන යුද්ධය පැය 24කින් අවසන් කරන බවට ඔහු සපථ කර ඇතත්, මෙය කෙසේ සිදු විය හැකිද යන්න පැහැදිලි නැත.

BBC World – මාර්ක් ෂියා