පාර්ලිමේන්තුව ඉදිකළ භූමිය, ඉදිකිරීම් කළ හැටි සහ එහි ව්‍යුහය පිටුපස කතාව

පාර්ලිමේන්තුව ඉදිකළ භූමිය, ඉදිකිරීම් කළ හැටි සහ එහි ව්‍යුහය පිටුපස කතාව

SL Parliament

ශ්‍රී ලංකාවේ පාලනය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන කුලුනු තුන මත රඳා පවතී. එහිදී, නීති සම්පාදනය කිරීමේ වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවට ය. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසු පැවැත්වෙන 10 වන මහ මැතිවරණය මෙවර පැවැත්විණි. මහ මැතිවරණයකින් සිදු කෙරෙන්නේ පාර්ලිමේන්තුව සඳහා සභිකයින් 225 දෙනෙකු තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය යි. මේ, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පිළිබඳ ඉතිහාසය සහ එහි ව්‍යුහය පිළිබඳ පැහැදිලි කිරීමකි.

පාර්ලිමේන්තු ක්‍රමයේ ඉතිහාසය

බටහිර යටත් විජිතවාදීන්‌ගේ පැමිණීමට ‌පෙර, ශ්‍රී ලංකා‌වේ පැවතියේ රාජාණ්ඩු ක්‍රමයකි.

පසුව පෘතුගීසි, ලන්‌දේසි සහ බ්‍රිතාන්‍ය යටත් විජිත යට‌තේ පරිපාලනමය ‌වෙනස්කම් හඳුන්වා ‌දෙන ලදී.

1815 දී උඩරට රාජධානිය ද බ්‍රිතාන්‍ය පාලනයට යටත් වූ අතර, කෝල්බෲක් – කැමරන් ‌කොමිස‌මේ නිර්‌දේශවලට අනුකූලව, 1833 දී ශ්‍රීමත් ‌රොබට් ‌හෝර්ටන් නමැති ආණ්ඩුකාරවරයා විසින් විධායක සභාව සහ ව්‍යවස්ථාදායක සභාව නම් වූ යටත් විජිත පාලනය පැවති ශ්‍රී ලංකා‌වේ ප්‍රථම ව්‍යවස්ථාදායක මණ්ඩල ‌දෙක පිහිටුවන ලදී.

මුලින් ම, විධායක සභාව සහ ව්‍යවස්ථාදායක සභාව රැස්වීම් පැවැත්වූ‌යේ දැනට වි‌දේශ කටයුතු අමාත්‍යාංශය පිහිටා ඇති දර්ශනීය ගෝර්ඩ්න් උද්‍යානය ඉදිරිපස පිහිටි ගොඩනැගිල්‌ලේ ය.

පැරණි පාර්ලි‌මේන්තු ‌ගොඩනැගිල්ල 1930 ජනවාරි 29 වන දින එවකට ආණ්ඩුකාරවරයා ‌වූ ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි විසින් විවෘත කරන ලදී.

වෙස්ට්මිනිස්ටර් ක්‍රමය

1944 වසරේදී ‌සෝල්බරී කොමිසම විසින් ‌වෙස්ට්මින්ස්ටර් ක්‍රමය හඳුන්වා ‌දෙන ලදී.

පාර්ලි‌මේන්තුව රැජිණ‌ගෙන් (අග්‍රාණ්ඩුකාරවරයා විසින් නි‌යෝජනය කරන ලදී) සහ ‌සෙ‌‌නෙට් සභාව සහ නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය යන සභා ‌දෙකකින් ද සමන්විත විය. නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය සාමාජිකයන් 101 දෙ‌නෙකු‌ගෙන් සමන්විත වූ අතර, ‌සෙ‌නෙට් සභාව සාමාජිකයන් 30 ‌දෙ‌නෙකු‌ගෙන් සමන්විත විය. සෙනෙට් සභිකයන් 30 දෙනා අතරින් 15 දෙනෙකු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ‌තෝරා පත් කරන ලද අතර, ඉතිරි 15 දෙනා අග්‍රාණ්ඩුකාරවරයා විසින් නම් කරන ලදී.

සෙ‌නෙට් සභාව 1971 ඔක්‌‌තෝබර් මස 2 වන දින අ‌හෝසි කරන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ‌ලෙස ව්‍යවස්ථාදායක‌යේ නම පහත දැක්‌වෙන අයුරින් අවස්ථා කීපයකදී ම ‌වෙනස් විය.

  • ව්‍යවස්ථාදායක සභාව 1833-1931 – (මන්ත්‍රීවරුන් 49)
  • රාජ්‍ය මන්ත්‍රණ සභාව 1931-1947 – (මන්ත්‍රීවරුන් 61)
  • නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය 1947-1972 – (මන්ත්‍රීවරුන් 101ක් හා 1960න් පසුව මන්ත්‍රීවරුන් 157)
  • ජාතික රාජ්‍ය සභාව 1972-1978 – (මන්ත්‍රීවරුන් 168)
  • පාර්ලිමේන්තුව 1978 සිට මේ දක්වා – (මන්ත්‍රීවරුන් 225)

පුරාවිද්‍යාත්මක භූමියක නව පාර්ලිමේන්තුව ඉදිකිරීම්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගාලු මුවදොර පිහිටි ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසාත් ගොඩනැගිල්ල විශාල කිරීමට එම භුමියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසාත් 70 දශකය අගභාගය වන විට එය වෙනත් ගොඩනැගිල්ලකට ගෙන යාමේ අවශ්‍යතාව මතු විය.

නව පාර්ලිමේන්තුව ඉදිකිරීමට යෝජනා වූයේ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ ය. ඒ අනුව, 1979 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ දියවන්නා ඔයේ පිහිටි අක්කර 16ක වගුරු බිමක් වූ කුඩා දූපතක අභිනව පාර්ලිමේන්තුව ඉදිකිරීමට තීරණය විය.

Parliament

ඡායාරූප මූලාශ්‍රය,Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,නව පාර්ලිමේන්තුව ඉදිකෙරුණේ, ශ්‍රී ජයවර්ධනපුර ‌කෝට්‌ටේ නගර‌යේ තුන් වන වික්‍රමබාහු රජතුමා‌ගේ ප්‍රබල අග්‍රාමාත්‍යවරයෙකු වූ නිශ්ශංක අල‌කේෂ්වර‌ගේ මාලිගය පිහිටා තිබූ ස්ථාන‌යේ ය.

එය, ශ්‍රී ජයවර්ධනපුර ‌කෝට්‌ටේ නගර‌යේ තුන් වන වික්‍රමබාහු රජතුමා‌ගේ ප්‍රබල අග්‍රාමාත්‍යවරයෙකු වූ, නිශ්ශංක අල‌කේෂ්වර‌ගේ මාලිගය පිහිටා තිබූ ස්ථාන‌ය බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවසයි.

එඩ්වඩ් රීඩ් සහ ‌බෙග් සමාග‌මේ සේවය කළ ‌ජෙෆ්රි බාවා නව පාර්ලිමේන්තුවේ ගෘහ නිර්මාණ ශිල්පියා ‌ලෙස ‌තෝරා ගැනුණු අතර මිට්සුයි සමාගම් ‌දෙකක් එක්ව සෑදුණු ජපන් සමාගමකට නව ‌ගොඩනැගිලි සංකීර්ණ‌යේ ඉදි කිරීම් ක‌ටයුතු පවරන ලදී.

එහි ඉදිකිරීම් කටයුතු 1982 වසරේදී නිමා ‌කෙරිණි.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ ශ්‍රී ලාංකික කලා නිර්මාණ සහ ප්‍රතිමා නිර්මාණය කිරීම ප්‍රකට ශ්‍රී ලාංකික කලාකරුවන් සහ මූර්ති ශිල්පීන් කිහිප දෙනෙකුට පවරා තිබිණි.

අලුත් පාර්ලිමේන්තුව විවෘත කිරීම

1982 අප්‍රේල් 29 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි අභිනව පාර්ලිමේන්තුව විවෘත කෙරිණි.

ඒ අනුව, මෙරට ව්‍යවස්ථාදායකය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉදිකළ අභිනව පාර්ලිමේන්තු සංකීර්ණය වෙත මාරු විය.

නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන නගරය බවට පත්විය.

ඒ අනුව, 1982 වසරේ අප්‍රේල් 29 වන දා සිට මේ දක්වා මෙම පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකයට සෙවණ දෙයි.

සෙංකෝලය

පාර්ලි‌මේන්තු‌වේ බල අධිකාරියේ සං‌‌කේතය වන ‌සෙං‌කෝලය මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් 1949 වසරේදී ලංකා‌වේ නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය ‌වෙත ප්‍රදානය කරන ලද්දකි.

මෙය නිර්මාණය කරන ලද්දේ, එස්.පී. චාර්ලිස් නමැත්තෙකි.

මෙය නිර්මාණය කිරීම සඳහා කළුවර ලී කැබැල්ලක් සහ නිල් මැණික් පමණක් ශ්‍රී ලංකාවෙන් යවා ඇති අතර, අනෙක් සියල්ල බ්‍රිතාන්‍යයෙන් පරිත්‍යාග කෙරිණි.

එහි බර රාත්තල් 28ක් වන අතර දිගින් අඟල් 48ක් වේ. ‌සෙං‌කෝලය නිර්මාණය කර ඇත්‌තේ, කළුවර යෂ්‌ටියකින් සහ රිදි‌යෙන්, කැරට් 18 රනින් සහ නිල් මැණික්වලින් එය අලංකාර කිරී‌මෙනි. ‌

සෙංකෝලය

ඡායාරූප මූලාශ්‍රය,Sri Lanka Parliament

ඡායාරූප ශීර්ෂ වැකිය,සෙංකෝලයේ සැකැස්ම

සෙං‌කෝලය පාර්ලි‌මේන්තු බල අධිකාරි‌යේ සං‌කේතයක් ‌ලෙස ද, පාර්ලි‌මේන්තුව තුළින් කතානායකවරයා‌ගේ බල අධිකාරි‌යේ සං‌කේතයක් ‌ලෙස ද පැවතී ඇති බැවින්, පාර්ලි‌මේන්තුවට සෙං‌කෝලය ‌නොමැතිව රැස්විය ‌නොහැකි ‌ය.

සෙං‌කෝලය රැ‌ගෙන යන ‌වේත්‍රධාරී මහ ‌ලේකම්වරයා සහ ඔහු‌ගේ නි‌යෝජ්‍ය නිලධාරීන් ද ‌පෙරටු කොට කතානායකවරයා සභා ගර්භයට පැමිණීමත් සභා ගර්භ‌යෙන් පිටවීමත් සිදු ‌වේ.

පාර්ලි‌මේන්තුව රැස්‌වන අවස්ථාවලදී ‌වේත්‍රධාරියා විසින්, පාර්ලි‌මේන්තුවේ මහ ‌ලේකම්වරයා‌ගේ ‌මේසයට ‌කෙලින් පහළින් පිහිටා ඇති ආධාරකයක් මත ‌සෙං‌කෝලය තැන්පත් කරනු ලබයි.

සෙංකෝලය

ඡායාරූප මූලාශ්‍රය,Sri Lanka Parliament

ඇතැම් අවස්ථාවල පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවෙමින් පැවතියදී සෙංකෝලය බලහත්කාරයෙන් රැගෙන ගිය අවස්ථා මෑත ඉතිහාසයේ දක්නට ලැබිණි.

සභා ගර්භයේ අසුන් පැනවෙන හැටි

‌මේස සහිතව තට්ටු‌වෙන් තට්ටුව උස් වන පරිදි සවි කළ ආසන සභා ගර්භය තුළ මන්ත්‍රීවරුන් වෙනුවෙන් පනවා තිබේ.

සභා ගර්භය තුළ වායු සමීකරණ පහසුකම් ද සහිතව මන්ත්‍රීවරුන් 232 ක් සඳහා ආසන පහසුකම් ඇත. ඔවු‌නොවුන්ට හිමි ආසන සංඛ්‍යාව පදනම් කර ගනිමින් ඒ ඒ පක්ෂ සහ කණ්ඩායම් සඳහා සභාව තුළ ආසන පනවා ඇත.

Parliament

ඡායාරූප මූලාශ්‍රය,Sri Lanka Parliament

ආණ්ඩු පක්ෂය මූලාසන‌යේ දකුණු පසින් ද, විපක්ෂ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වම් පසින් ද, සිටින ‌සේ සභා ගර්භය තුළ අසුන් පැනවෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව වසර 5ක කාල සීමාවක් සඳහා තෝරා ගත් මන්ත්‍රීවරුන් 225 දෙනෙකු‌ගෙන් පාර්ලිමේන්තුව සමන්විත වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 98 සහ 99 ව්‍යවස්ථාවල පාර්ලිමේන්තුවේ සංයුතිය පෙන්වා දී තිබේ.

මන්ත්‍රීවරුන් 196 දෙ‌නෙකු ජනතාව විසින් මහ මැතිවරණයක දී ‌කෙළින්ම ‌තෝරා පත් කර ගන්නා අතර එවන් මහ මැතිවරණයකදී තරග වදින එක් එක් ‌දේශපාලන පක්ෂය ‌හෝ ස්වාධීන කණ්ඩායම ඔවුන් අතර ලබා ගත් ඡන්ද ප්‍රමාණයට අනුපාතිකව ඉතිරි ආසන 29 බෙදා හරිනු ලැ‌‌බේ.

හැන්සාඩ් නිලධාරීන් සඳහා ‌වෙන් වූ කුටි සහ පාර්ලි‌මේන්තු නිලධාරීන් සඳහා ‌වෙන් වූ කුටි පිළිවෙළින් මූලාසන‌යේ වම් සහ දකුණු පැතිවල පිහිටා ති‌බේ.

පාර්ලිමේන්තු කතා පරිවර්තකවරුන් සහ රජයේ නිලධාරීන් සඳහා වෙන් වූ කුටි මූලාසනයට විරුද්ධ දිශා‌වේ පිහිටා ඇත.

පාර්ලිමේන්තුවේ ආසන බෙදී යන ආකාරය

Seating

ඡායාරූප මූලාශ්‍රය,Sri Lanka Parliament

  • කතානායක
  • අග්‍රාමාත්‍ය
  • විපක්ෂ නායක
  • පාර්ලිමේන්තුවේ මහ ලේකම් (පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී කතානායකවරයා උස් පීඨිකාවේ ඇති සිය අසුනින් ඉවත්ව පාර්ලිමේන්තු මහ ලේකම්ගේ ආසනයේ අසුන් ගනී.)
  • පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්
  • පාර්ලිමේන්තු‌වේ සහකාර මහ‌ ලේකම්
  • පාර්ලිමේන්තු සභා මේසය
  • සෙංකෝලය (පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී “මේසයට පහළින්” සෙංකෝලය තබනු ලැබේ.)
  • ආණ්ඩු පක්ෂයේ ආසන
  • විපක්ෂයේ ආසන (ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් ගණන ආණ්ඩු පක්ෂය පැත්තේ ඇති ආසන ගණනට වඩා වැඩි වූ විටදී, එම අතිරික්ත ආසන සංඛ්‍යාවට විපක්ෂයේ ඉදිරි පෙළ හැර ආසන පනවනු ලැබේ.)
  • සභා ගර්භ සීමාව
  • වේත්‍රධාරී
  • නියෝජ්‍ය වේත්‍රධාරී
  • හැන්සාඩ් නිලධාරීන්පා
  • ර්ලිමේන්තු නිලධාරීන්
  • පුවත්පත් ගැලරිය
  • ගැලරිය 1 (ජනතාව සඳහා)
  • ගැලරිය 2 (ජනතාව සඳහා)
  • ගැලරිය 3 (ජනතාව සඳහා)
  • කතානායක ගැලරිය (මෙය සම්භාවනීය අමුත්තන් සඳහා වෙන්කර ඇත.)

 

BBC – Sinhala