ජුලම්පිටියේ අමරේගේ මරණීය දණ්ඩනය තහවුරුයි
ජී.ජී.අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය ඊයේ (නොවැම්බර් 20 වැනිදා) තහවුරු කළේය.
ඒ, 2012 වසරේ කටුවන ප්රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට වරදකරු වී තංගල්ල මහාධිකරණය පැනවූ මරණීය දණ්ඩනය තහවුරු කරමිනි.
විනිසුරු පී. කුමාරන් රත්නම්ගේ එකඟත්වය ඇතිව අභියාචනාධිකරණය විනිසුරු සම්පත් අබේකෝන් විසින් මෙම තීන්දුව ලබා දුන්නේ ය.
ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබයි
2012 වසරේ ජුනි මස 15 වන දා කටුවන ප්රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු මරා දමා තවත් අයකුට මරණීය තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ජුලම්පිටියේ අමරේ නැමැත්තාට එරෙහිව මෙම නඩුව තංගල්ල මහාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.
එම චෝදනාවන්ට වරදකරු කෙරුණු ජුලම්පිටිය අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවේ ය.
එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජුලම්පිටිය අමරේ සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය.
අභියාචනය තුළින් විත්තිකරු ප්රකාශ කළේ මහාධිකරණ නඩු විභාගයේදී විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ සාක්ෂි විනිසුරුවරයා විසින් සැලකිල්ලට නොගත් බව ය.
ඒ අනුව තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් විත්තිකරු එම අභියාචනය යොමු කරමින් ඉල්ලා තිබිණි.
එම ඇපෑල විභාග කළ අභියාචනාධිකරණ විනිසුරුවරු සඳහන් කළේ මහාධිකරණ විනිසුරුවරයා විසින් නිකුත් කළ මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් මැදිහත්වීම් කිරීමට තම අධිකරණය අපේක්ෂා නොකරන බව ය.
ඒ අනුව විත්තිකරුට පනවා තිබෙන මරණීය දණ්ඩනය තහවුරු කරන බවත් අදාළ අභියාචනය ප්රතික්ෂේප කරන බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
BBC Sinhala