රවී කරුණානායක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ගත්තේ ‘හොර පාරෙන්’ ද?

රවී කරුණානායක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ගත්තේ ‘හොර පාරෙන්’ ද?

සිලින්ඩරය ලකුණ යටතේ තරග කළ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු උපනායකයෙකු වන රවී කරුණානායක නම් කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගතව තිබේ.

ඒ, රවී කරුණානායක නම් කිරීමට එරෙහිව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරග කළ එක්සත් ජාතික පක්ෂය විසින් විරෝධය පළ කරනු ලැබ තිබීම හේතුවෙනි.

කෙසේ වෙතත්, රවී කරුණානායකගේ නම මේ වන විට ගැසට් මගින් ද ප්‍රකාශයට පත් කර අවසන් ය. නොවැම්බර් 18 දිනය සහිතව 2411/07 දරන අංකය යටතේ ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.

”අපි වෙස්සන්තරලා නෙමෙයි. අපිටත් යමක් ලැබෙන්න ඕන”

නොවැම්බර් 14 පැවති 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මන්ත්‍රීධූර පහක් හිමි විය. ඒ, ජනතා ඡන්දයෙන් මන්ත්‍රීධූර තුනක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් වශයෙනි. එයින් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් මේ වන විට හිස්ව ඇත.

කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කළ රෝහිත අබේගුණවර්ධන, මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කළ අනුරාධ ජයරත්න සහ බදුල්ලෙන් තරග කළ චාමර සම්පත් දසනායක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග කර ජග්‍රහණය ලැබූ අපේක්ෂකයෝ වෙති.

මේ අතර, තමන් ගත් තීරණය නීත්‍යනුකූල වන අතර එය වෙනස් කිරීමේ සූදානමක් නැති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ ශාමිලා පෙරේරා BBC සිංහල සේවයට පැවසුවා ය.

”අපි මහ මැතිවරණයට පෙර අපේ පක්ෂයෙන් තරග කරන පක්ෂ හයෙන් පහක් එක්ක ලිඛිත ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ එකඟතාව තමයි එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් අපිට ඕනෙ කියන එක. ඒකට තමයි මම රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යැව්වේ. අනික් එකට එයාලට ඕන කෙනෙක් නම් කර ගන්න පුළුවන්. මේ ගැන තැන් තැන්වල කතා කළාට අපිට කවුරුවත් ලිඛිතව දන්වලා නෑ මේකට විරුද්ධ යි කියලා. අපි වෙස්සන්තරලා නෙමෙයි. අපිටත් යමක් ලැබෙන්න ඕනේ,” යනුවෙන් ඇය ප්‍රකාශ කළා ය.

කෙසේ නමුත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක්‌ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා දීමේ තීරණයට එක්සත් ජාතික පක්ෂය අත්සන් කර තිබුණේ නැත.

‘UNP වැඩි කැමැත්ත තලතා නම් කරන්න’

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරග කළ කිසිදු අපේක්ෂකයෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ නැත. නමුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව සකස් කිරීමේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන 7 දෙනෙකුගේ නම් ඇතුළත් වී තිබිණි.

”ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා තලතා අතුකෝරළ හෝ නීතිඥ රෝලන්ඩ් පෙරේරා නම් කරන්න යි අපි සාකච්ඡා කරමින් හිටියේ. බහුතර මතය තිබුණේ තලතා අතුකෝරළ නම් කරන්න. ඒ ගැන නිසි තීරණයක් ගැනීමට ප්‍රථම මේ වැඩේ වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය හැටියට ගත්තොත් අපේ පක්ෂ ව්‍යවස්ථාවේ 3.3, වගන්තිය 3.4, 9.7 සහ 13.7 සහ 13.8 වගන්ති උල්ලංඝණය වීමක් වෙලා තියෙනවා,” යනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේගුණවර්ධන පවසයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරග කළ පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් අද පැවැත්වේ.

‘අපි පිළිගන්නේ පක්ෂ ලේකම් නම් කරපු කෙනා’

මේ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව  මැතිවරණ කොමිෂන් සභවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නයකගෙන් විමසීමක් කළේ ය. එහිදී ඔහු අවධාරණය කළේ, මැතිවරණ කොමිෂන් සභාව පිළිගනු ලබන්නේ පක්ෂ ලේකම්වරයා විසින් නම් කරන ලද පුද්ගලයාගේ නම බැවින් පක්ෂ අභ්‍යන්තර අර්බුදවලට මැතිවරණ කොමිෂන් සභාව මැදිහත් නොවන බව ය.

”අපිට පක්ෂයේ ලේකම් නම් කරලා කෙනෙක් එවලා තියෙනවා. ඒ නම දැන් ගැසට් කරලත් ඉවර යි. මේ සිදුවීමට අපිට පැමිණිලි කරලා හෝ ලියුම් එවලා වැඩක් නෑ. අපිට අදාළ ම නෑ. ඕන කෙනෙක් අධිකරණයට ගිහින් බේරගන්න,” යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ය.

2024 මහ මැතිවරණයට තරග කළ පක්ෂ සඳහා ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන:

  • ජාතික ජන බලවේගය – 18
  • සමගි ජන බලවේගය – 05
  • නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 02
  • සර්ව ජන බලය – 01
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 01
  • ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 01
  • ඉලංගෙයි තමිල් අරසු කච්චි – 01

ඉහත ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අතරින් ජාතික ජන බලවේගය, සර්ව ජන බලය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි විසින් තම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර නම් කර, ඒවා ගැසට් මගින් ද ප්‍රකාශයට පත්කර අවසන් ය.

BBC Sinhala