ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපති ධූරය කෙබඳු වනු ඇත්ද?
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපති ධූරය කෙබඳු වනු ඇත්ද?
සමහර විචාරකයන්ට, අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය ඔහු එක්සත් ජනපද ජනාධිපති ලෙස දෙවන ධුර කාලයේදී කටයුතු කරන්නේ කෙසේද යන්න, පිළිබඳ හොඳ ඉඟියක් ලබා දිය හැකිය.
ජනාධිපති ට්‍රම්ප් 2020 දී ඔහුගේ පළමු ජනාධිපති ධූර කාලය අවසන් වන විට ඔහු නතර කළ ස්ථානයේ සිට නැවත ආරම්භයක් ගනු ඇතැයි ඔවුන් විශ්වාස කරයි.
නිම නොකළ එක් ව්‍යාපෘතියක් වන්නේ එක්සත් ජනපදයේ දකුණු දේශසීමාව වසා දැමීම සහ දේශසීමා තාප්පයක් ඉදිකිරීමයි – ඔහුගේ පළමු ධූර කාලයේ එය ප්‍රධාන ප්‍රතිපත්තියක් විය; ඔහු සිතූ පරිදි තාප්පය ඉදිකිරීමට අවශ්‍ය වූවත් ඒ සඳහා අරමුදල් සඳහා කොන්ග්‍රසයේ අනුමැතිය ලබා ගැනීමට ඔහුට නොහැකි විය.
එහි ඉදිකිරීම් අවසන් කිරීමට ඔහු සිය මැතිවරණ ව්‍යාපාරයේදී ලබාදුන් ප්‍රතිඥාව ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සමූහ පිටුවහල් කිරීම
ජනාධිපති ට්‍රම්ප්, රට තුළ සිටීමට නීත්‍යානුකූල අවසරයක් නොමැති පුද්ගලයින් සමූහ වශයෙන් පිටුවහල් කිරීමේ ඔහුගේ සැලැස්ම සඳහා ද කොන්ග්රස් මණ්ඩලයේ සහාය අපේක්ෂා කරනු ඇත.
Pew පර්යේෂණ මධ්‍යස්ථානයේ ඇස්තමේන්තු වලට අනුව, 2022 දී එක්සත් ජනපදයේ අනවසර සංක්‍රමණිකයන් මිලියන 11 ක් පමණ සිටි නමුත් ට්‍රම්ප් සහ ඔහුගේ ව්‍යාපාරය තවත් මිලියන ගණනක් සිටින බව කියා සිටියේය.
සංක්‍රමණිකයින් විශාල වශයෙන් පිටුවහල් කිරීම මිල අධික වන අතර එය ක්‍රියාත්මක කිරීම අපහසු වනු ඇති බවත්, ලේඛනගත නොකළ ශ්‍රමය ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ආර්ථිකයේ ඇතැම් ක්ෂේත්‍ර කෙරෙහි ඍණාත්මක බලපෑම් ඇති කළ හැකි බවටත් විශේෂඥයින් අනතුරු අඟවා ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජූලි මාසයේදී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිගනිමින් , “විනාශකාරී උද්ධමන අර්බුදය වහා අවසන් කිරීමට, පොලී අනුපාත අඩු කිරීමට සහ බලශක්ති පිරිවැය අඩු කිරීමට” ඔහු ප්‍රතිඥා දුන්නේය.
ඔහුට අවශ්‍ය වන්නේ ලබන වසරේ කල් ඉකුත් වීමට නියමිත 2017 දී ඔහු විසින් හඳුන්වා දුන් බදු කප්පාදු කිරීම් දීර්ඝ කිරීමට ය. එය බදු ක්‍රමය සරල කිරීම ඉලක්ක කරගත් ආර්ථික වර්ධනය සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් දශක කිහිපයක විශාලතම බදු ප්‍රතිසංස්කරණය විය.
විශාලතම කප්පාදු කිරීම්, ව්‍යාපාර සහ ධනවතුන් වෙත ලැබුණු අතර එය ආපසු හරවන බවට ඩිමොක්රටික් පක්ෂය පවසා තිබිණි.
ට්‍රම්ප් විසින් ව්‍යාපාරික බදු අනුපාත තවදුරටත් 15% දක්වා පහත හෙලීමට සහ විශ්‍රාමිකයින්ට සහ සමාජ ආරක්ෂණ ගෙවීම් සඳහා බදු ඉවත් කිරීමට අපේක්ෂා කෙරේ.
තවත් වෙළෙඳ යුද්ධයක්?
ඛණිජ තෙල් තෙල් සඳහා ගවේෂණ වැඩි කිරීමට ඔහුට අවශ්‍යව ඇති අතර, අධික පිරිවැය උද්ධමනයට දායක වී ඇති බවත්, එසේ කිරීමෙන් බලශක්ති පිරිවැය අඩු වනු ඇති බවත් ඔහු විශ්වාස කරයි.
බොහෝ විදේශීය භාණ්ඩ සඳහා 10%-20% තීරුබදු පැනවීමටත්, චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 60%ක බදු පැනවීමටත් සැලසුම් කර ඇති බව ද ඔහු පවසා තිබේ. කෙසේ වෙතත්, බොහෝ ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ, එවැනි ක්‍රියාමාර්ගයක් තුළින් ඇමරිකානු පාරිභෝගිකයින් ට ඉහළ මිලක් ගෙවීමට සිදුවනු ඇති බවටයි.
ඔහුගේ පළමු ධුර කාලය තුළ, ජනාධිපති ට්‍රම්ප් බීජිං සමඟ වෙළඳ යුද්ධයක් ආරම්භ කළේ චීනය අසාධාරණ වෙළඳ පිළිවෙත් සහ බුද්ධිමය දේපල සොරකම් කරන බවට චෝදනා කරමිනි.
කෙසේ වෙතත්, ඔහුට අවශ්‍ය ආකාරයට ඔහුගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට එක්සත් ජනපද කොන්ග්‍රසයේ සැකැස්ම සැකයකින් තොරව සැකසෙනු ඇත.
2017-2019 කාලය තුළ රිපබ්ලිකන් පක්ෂයට සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යන දෙකෙහිම පාලනය පැවතුණි.
එහෙත් එවකට කැපිටල් හිල් හි ආධුනිකයෙකු ලෙස ට්‍රම්ප් කොන්ග්‍රසයේ ක්‍රියාකාරීත්වය ගැන නුහුරු නුපුරුදු අයෙකු ලෙස සලකනු ලැබිණි. එය ප්‍රධාන ප්‍රතිපත්ති ජයග්‍රහණ කර ගැනීම සඳහා ධවල මන්දිරයේ සිටීම සහ කොන්ග්‍රසයේ බහුතරයක් තිබීමේ රිපබ්ලිකන් වාසිය උද්දීපනය කිරීමට ඔහුට ඇති හැකියාවට බාධාවක් වූ බව දේශපාලන විශ්ලේෂකයෝ එම අවස්ථාවේ පැවසූහ.
මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය සෙනට් සභාවේ බලය හිමිකර ගනු ලැබීය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ලබා ගැනීම සඳහා ආසන 218ක් ජයගත යුතු වන අතර ඔවුන් දැනට ආසන 211ක් හිමිකර ගෙන ඉදිරියෙන් සිටියි. සෙනට් සභාවේ මෙන්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය හිමිකර ගැනීමට රිපබ්ලිකන් පක්ෂය සමත්වුවහොත් දේශසීමා ආරක්ෂාව, දේශසීමා තාප්පය නිම කිරීම සහ බදු කප්පාදුව සඳහා අරමුදල් ඇතුළත් නීති සම්පාදනය කිරීමට ඉඩ ඇත.
ගබ්සාව තහනම්
ඔහුගේ පළමු ධූර කාලය තුළ, ගබ්සාවට ව්‍යවස්ථාපිත අයිතිය අවලංගු කිරීමේ ප්‍රධානතම දායකත්වය ලබාදුන් 1973 දී Roe v Wade ලෙස හැඳින්වූ නඩු තීන්දුව දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කිරීම ට්‍රම්ප් විසින් අධීක්ෂණය කරන ලදී, එබැවින් නව ජනාධිපතිවරයා සිය දෙවන ධුර කාලය තුළ කුමක් කරනු ඇත්දැයි බොහෝ දෙනා කල්පනා කරති.
කෙසේ වෙතත්, සැප්තැම්බර් මාසයේ කමලා හැරිස් සමඟ ඔහුගේ රූපවාහිනී විවාදයේදී ඔහු කියා සිටියේ, “අපි හැමෝටම අවශ්‍ය දේ ලබාගෙන ඇති නිසා තහනමට අත්සන් කිරීමට කිසිදු හේතුවක් නොමැති නිසා” ෆෙඩරල් ගබ්සා තහනමකට අත්සන් නොකරන බවයි.
‘හුදෙකලාවාදය සහ ඒකපාර්ශවිකවාදය’
විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, ජනාධිපති ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය ඔහුගේ පළමු ධුර කාලයට සමාන වනු ඇත – එනම් ලෝකයේ වෙනත් තැන්වල ගැටුම් වලින් එක්සත් ජනපදය දුරස් කරනු ඇත.
රුසියාව සමඟ සාකච්ඡාමය විසඳුමක් හරහා යුක්රේනයේ යුද්ධය “පැය 24 ක් ඇතුළත” අවසන් කරන බව ඔහු පවසා ඇති අතර, ඩිමොක්රටික් පාක්ෂිකයන් පවසන මෙම පියවර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ධෛර්යමත් කරනු ඇත.
ට්‍රම්ප් ඊශ්‍රායලයේ දැඩි ආධාරකරුවෙකු ලෙස තමාවම හඳුන්වා ඇති නමුත් ගාසා තීරයේ යුද්ධය අවසන් කරන්නේ කෙසේද යන්න ගැන එතරම් පැහැදිලි කර නොමැත.
“ට්‍රම්ප්ගේ ජනාධිපති ධූරය හුදකලාවාදයෙන් සහ ඒකපාර්ශවිකවාදය සනිටුහන් කරනු ඇතැයි මම දකිනවා, ඒක ගෝලීය අස්ථාවරත්වය තරමක් ගැඹුරු කරනු ඇත,” මෑතක් වන තුරුම හදිසි මානුෂීය කටයුතු සම්බන්ධීකාරක සහ එක්සත් ජාතීන්ගේ උපලේකම්වරයෙකු මෙන්ම ප්‍රවීණ ගැටුම් මැදිහත්කරුවෙකු වන මාටින් ග්‍රිෆිත්ස් පවසයි.
හිටපු නේටෝ නිලධාරී සහ දැන් එක්සෙටර් විශ්වවිද්‍යාලයේ උපාය මාර්ග සහ ආරක්ෂාව පිළිබඳ මහාචාර්ය ජේමි ෂියාට අනුව ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය කඩාකප්පල්කාරී වූ නමුත් ” ගුණාත්මකභාවය අනුව විශාල අඛණ්ඩ පැවැත්මක් තිබිණි”.
“ඔහු නේටෝවෙන් ඉවත් වූණේ නැහැ, ඔහු එක්සත් ජනපද හමුදා යුරෝපයෙන් ඉවත් කළේ නැහැ. යුක්රේනයට මාරාන්තික ආයුධ ලබා දුන් පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා ඔහුයි.”
ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ඉතිහාසයේ අඛණ්ඩ නොවන වාර දෙකක් ධුර දැරූ දෙවැනි ජනාධිපතිවරයා වේ.
මීට පෙර 1885 සහ 1889 අතර නිලයේ සිටි ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් යලි තේරී පත්වීමට අපොහොසත් වූ අතර වසර හතරකට පසු ඔහු 1893 සහ 1897 අතර ජනපති ධුරය දැරීම සඳහා නව ජනවරමක් ලබා ගත්තේය.
ජයග්‍රහණය ප්‍රකාශ කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, සෑම ඇමෙරිකානුවෙකු වෙනුවෙන්ම තමා සටන් කරන බවය.
ශක්තිමත්, ආරක්ෂිත සහ සෞභ්යාගයමත් ඇමෙරිකාවක් උදෙසා කැපවන බව ඔහු අවධාරණය කළේය.
BBC Sinhala