මීළඟ විපක්ෂ නායක කවුරුන් විය හැකි ද?

ඒ. අමිර්තලිංගම් සහ ආර්. සම්බන්ධන් වැනි සුළුතර ප්‍රජාව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙරට විපක්ෂනායක ධුරයට තේරී පත්වු අවස්ථා ගැන ඉතිහාසය සාක්ෂි දරයි ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් ස්වයං විශ්‍රාම ගැනීම සහ මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කිරීමත් සමග විපක්ෂය තුළ දේශපාලන රික්තකයක් නිර්මාණය වී තිබේ.

විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සන්ධාන කැඩී බිඳී ගොස් විපක්ෂයේ බලය දියාරු වී ගොස් ඇති මෙවන් අවස්ථාවක මීළඟට පත්වන විපක්ෂනායකවරයා කවුරුන් විය හැකි ද?

පක්ෂයක් ලෙස ආසන වැඩි සංඛ්‍යාවක් හිමිකර ගනිමින් සමගි ජනබලවේගය විපක්ෂනායක ධුරය යළි හිමිකර ගනු ලැබුවහොත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට එහි නායක සජිත් ප්‍රේමදාසට හැකි වෙයි ද?

ජනාධිපතිවරණයකින් හෝ මහ මැතිවරණයකින් පාලක පක්ෂයට බලය ගිලිහුණු බොහෝ අවස්ථාවල එහි වාසිය ලබා ගනු ලැබුවේ, ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂය ය. ලොව බොහෝ රටවල ඊට උදාහරණ ඇත.

එහෙත් මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව විසින් තෝරා ගනු ලැබුවේ විපක්ෂය නියෝජනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂය නොව පාර්ලිමේන්තුවේ ආසන 3ක් හිමිකර ගෙන සිටි ජාතික ජනබලවේගය ය.

ජාතික ජනබලවේගය ඉකුත් ජනාධිපතිවරණයෙන් ජය හිමිකර ගැනීම සහ අනතුරුව පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ඔවුන් ලද ප්‍රතිඵලය කුමක් වුවද, ජාතික ජනබලවේගයේ ඉදිරි දේශපාලන දිශානතිය පැහැදිලි ය.

ඒ අනුව ජාතික ජනබලවේගය මීළඟ ආණ්ඩුව පිහිටවනු ලැබුවහොත් වැඩි ආසන සංඛ්‍යාවක් හා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනා ගනිමින් විපක්ෂනායක ධුරයට පත්වීමට පසුගිය සිව් වසර පුරා එම ධුරය දැරූ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට හැකි වෙයි ද?

පසුගිය මැතිවරණ ප්‍රතිඵල දෙස ආපසු හැරී බැලීමක්

2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ 52.25% ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගත් අතර සමගිජන බලවේගයෙන් තරග කළ සජිත් ප්‍රේමදාස 41.99%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේ ඡන්ද 5,564,239 ලබා ගිනිමිනි.

2024 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ලද ඡන්ද සංඛ්‍යාව 4,530,902 දක්වා අඩුවිය.

ජනාධිපතිවරණයේදී ඔහු ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 32.76%කි. ඒ අනුව ඔහුට ඇති මහජන කැමැත්තෙහි අඩුවීමක් 2019 වසරේ සිට මැතිවරණ ප්‍රතිඵල දෙස බැලීමේදී පෙනී යන කරුණකි.

අවසන්වරට 2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආසන 225කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 145 හිමිකර ගැනීමට සමත් විය.

23.9%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් සමගි ජනබලවේගය එම මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7ක් ද සමගින් පාර්ලිමේන්තුවේ ආසන 54ක් හිමිකර ගත්තේ ය.

පසුගිය ජනාධිපතිවරණයට ස්වාධීනව තරග කළ රනිල් වික්‍රමසිංහ ඡන්ද 2,299,767 ලබාගත් අතර ප්‍රතිශතයක් ලෙස එය 17.27%කි. 2020 ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමිවූ අතර රනිල් වික්‍රමසිංහ පසුගිය පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ එම මන්ත්‍රී අසුන උපයෝගී කර ගනිමිනි.

2.82%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගත්, ඉලංගෙයි තමිල් අරුසු කච්චි 2020 මහ මැතිවරණයෙන් ආසන 10ක් හිමි කර ගත් අතර 3.84%ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත් ජාතික ජනබලවේගයට පසුගිය පාර්ලිමේන්තුවේදී හිමි වුයේ ආසන 3ක් පමණි.

2020 වසරේදී 3% ප්‍රතිශතයක් හිමි කර ගත් ජාතික ජනබලවේගය පසුගිය ජනාධිපතිවරණයෙන් ජය ලැබීම දක්වා කැපී පෙනන ලෙස සිය ඡන්ද පදනම පුළුල් කර ගෙන තිබේ.

2019 ජනාධිපතිවරණයෙන් 52%කට අධික ඡන්ද ප්‍රතිශතයක් සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 145ක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයට තරග කළ නාමල් රාජපක්ෂට හිමිකර ගැනීමට හැකිවුයේ ඡන්ද 342,781 ප්‍රමාණයකි. එය 2.57%ක ඡන්ද ප්‍රතිශතයකි.

නාමල් රාජපක්ෂ මෙවර මහ මැතිවරණයට තරග නොකරන අතර ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට අදහස් කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී 5 වැනි ස්ථානයට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනු ලැබුවේ, ස්වාධීනව තරග කළ පී.අරියනේත්‍රන්ය.

පසුගිය ජනාධිපතිවරණයේදී වඩාත් අවධානයට ලක්වූ අපේක්ෂකයා වුයේ ඔහු ය.

ඔහු ජනාධිපතිවරණයේදී ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 226,343 කි.

එහෙත් පී. අරියනේත්තිරන් මෙවර මහ මැතිවරණයට තරග නොකරයි.

ඔහු තරග කළේ නම් උතුරු නැගෙනහිර පළාත් වලින් වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කර ගැනීමට හැකියාව පැවතිණි.

‘ජනනායක තමිල් තේසීය කූට්ටනෙයි’ හෙවත් ප්‍රජාත්න්‍රතාවදී දෙමළ ජාතික සන්ධානයද මෙවර මහා මැතිවරණයට තරග කරයි. ප්ලෝට් සහ ටෙලෝ යන පක්ෂද එම සන්ධානයට අයත් ය.

මෙම සන්ධානය ඉදිරි මැතිවරණයේදී තමිල් අරුසු කච්චි වෙත අභියෝගයක් එල්ල කරනු ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී 6 වැනි ස්ථානයට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනු ලැබුවේ, ව්‍යාපාරික දිලිත් ජයවීර වන අතර සර්වජනබලය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට තරග කළ ඔහු ඡන්ද 122,396 හිමි කර ගැනීමට සමත්විය.

රන්ජන් රාමනායක ද මෙවර මහ මැතිවරණයට තරග කරන ජනප්‍රිය දේශපාලනඥයෙකි.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායකයා ලෙස ඔහු මහ මැතිවරණයට තරග කරන අතර ඔහු විපක්ෂ නායක ධුරයට පත්වීමට නම් ඔහුගේ පක්ෂය විපක්ෂයේ වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කර ගත යුතු ය.

පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් අහිමි වූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක ඇතුළු පිරිසක් ද මෙවර මහ මැතිවරණයට තරග කරති.

ඒ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ය.

ඉදිරි මහා මැතිවරණයේදී විපක්ෂයේ වැඩි ආසන සංඛ්‍යාවක් එම පක්ෂය හිමිකර ගත හොත් විපක්ෂනායක ධූරයට හිමිකම් කීම සඳහා එම සන්ධානයට ද අවස්ථාව පවතී.

මෙතෙක් නිවේදනය කර නැතත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර මහ මැතිවරණයට තරග නොකළද යම් ලෙසකින් ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙකු ලෙස හෝ යළි පාර්ලිමේන්තුවට පැමිණියහොත් කුමක් සිදුවේ ද යන්න තවමත් නිශ්චිතව පුරෝකථනය කළ නොහැකි කාරණයකි.

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පදනම් කරගෙන පාර්ලිමේන්තුවේ ආසන වෙන්විය හැකි ආකාරය පිළිබඳ උපකල්පනයක්