ගරු ජනාධිපති තුමනි Commentary පැත්තකින් තියලා දැන් මැච් එක පටන් ගන්න

 

ජනාධිපතිතුමා ජනාධිපතිධූරයේ දිවුරුම් දුන්නට තාම වැඩභාරගෙන නැහැ…………

නව රජය අලුත් සංකල්ප, අලුත් වැඩසටහන්, විවිධ ක්ෂේත්‍ර සම්බන්ධව ස්වකීය ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් එළිදැක්වීම අප මෙතෙක් නොදුටු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2024.11.08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා,
“ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ජනාධිපතිධූරයේ දිවුරුම් දුන්නට තාම වැඩභාරගෙන නැහැ. අලුතින් රටකට ජනාධිපතිවරයෙක් පත්වුණාම වැඩකරන විදිහ අපි දැකලා තිබෙනවා. අලුත් සංකල්ප, අලුත් වැඩසටහන්, විවිධ ක්ෂේත්‍ර සම්බන්ධව ස්වකීය ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල දිගහැරීම, මේ කිසිවක් අපි තාම දුටුවේ නැහැ. ඒ නිසා මට හිතෙනවා ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා විදිහට දිවුරුම් දුන්නට ධූරයේ වැඩභාරගෙන නැහැ. හැබැයි එතුමා ජාතික ජනබලවේගයේ නායකයාගේ කාර්ය භාර්යය ඉතාම ප්‍රශංසනීය විදිහට අදටත් කරනවා. මට තේරෙන සහ පෙනෙන විදිහට පහුගිය ජනාධිපතිවරණයේ අපි දැකපු දක්ෂතම පක්ෂ නායකයා, දක්ෂතම ජනාධිපතිධූර අපේක්ෂකයා වුණෙත් අනුර කුමාර දිසානායක මැතිතුමා. එතුමා ඒ රාජකාරිය අදටත් ඉතාමත් ප්‍රශස්ථ ආකාරයෙන් කරමින් සිටිනවා. නමුත් සමහරු කියනවා තාම සති කිහිපයයි, මාසයයි දවස් කිහිපයයි ගතවුණේ, ඒ නිසා තාම කල්මදි ආණ්ඩුවේ ජනප්‍රියභාවය මනින්න කියලා. පළවෙනි මාසෙදිවත් ජනප්‍රිය වෙන්න බැරිවෙච්ච ආණ්ඩුවක් දෙවෙනි මාසේදිවත් ජනප්‍රිය වෙයි ද? එහෙම වෙන්නේ නැහැ. අඩුම තරමින් ලංකාවේ මෑත කාලීන ආණ්ඩු අතර සාපේක්ෂතම දුර්වල ආණ්ඩුව හැදුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. හැබැයි එතුමාගේ ආණ්ඩුවත් පළවෙනි මාසෙදි ජනප්‍රියයි. අපි මේ දකින්නේ ක්‍රිකට් විස්තර විචාරකයින් මැච් එකක් ගහලා පටන්ගත්ත අවස්ථාවක්. Commentary කරන තරම් ලේසී නැහැ. එන ඇත්ත පන්දුවට ඊලඟ පහර මොකක්ද කියන එක තීන්දු කරන්න. හැබැයි Commentary කරන කොට හරි ලස්සනට කියනවා. ඒ නිසා Commentary පැත්තකින් තියලා දැන් මැච් එක පටන්ගන්න කියලා අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමාට අහිතකින් නොවේ ඔබ දෙස ආදරයෙන් බලා සිටින ප්‍රතිවාදියෙක් විදිහට මම යෝජනා කරනවා. ”

එහිදි ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සාලිය සරත් කුමාර මහතා,
“අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුව බලයට පත්වුණේ 75 වසරක සාපයක් අවසන් කරන්න. ඒ 75 වසරක සාපය අවසන් කරන්න ගත්තු ක්‍රියාමාර්ග මොනවාද දන්නේ නැහැ. ඒ ඔවුන් කියාපු දේට පරිභාහිරව කරපු එකම එක සුබවාදි ක්‍රියාමාර්ග මොනවාද? එතුමාලා කිව්ව 75 වසරක සාපය තුළ එදා ජනතාවට අත්සන් කරන්න දැනුමක් තිබුණේ නැහැ. නමුත් දැන් සිටින දරුවන් අද සිටින්නේ දුරකථනයත් සමඟ නැතිනම් පරිගණයක් සමඟ. අද ඒ තැනට සාක්ෂරතාවය දියුණුවෙලා තිබෙනවා. මාර්ග පද්ධතිය ගත්තාම එදා ගුරු පාරවල්, කාපට් පාරවල් තිබුණේ නැහැ. අද කාපට් පාරවල් මෙන්ම අධිවේදී මාර්ග පද්ධතිය දියුණු වුණා. ඒ වගේම සෞඛ්‍ය පද්ධතිය ගත්තාම මේ රටේ ඉතිහාසය පුරාම වසංගතය නිසා මිනිස්සු මැරුනා. හැබැයි ලෝක වසංගතයක් ආපු අවස්ථාවේ ඉන්දියාව, චීනයටත් මුහුණදෙන්න බැරිවෙද්දි අපි කොරෝනා වසංගතයට මුහුණදුන්නා. අපිට පුළුවන් වුණා අපේ රටේ ජනතාව ජිවත් කරවන්න. අද සෞඛ්‍ය පද්ධතිය දියුණුවෙලා තිබෙනවා මේ 75 වසරක ඉතිහාසයත් එක්ක බලද්දි. අධ්‍යාපනය, ප්‍රවාහන පද්ධතිය අද වෙද්දි දියුණු වෙලා තිබෙනවා. අද වෙද්දි ආර්ථිකයද දියුණුවෙලා තිබෙනවා. මේක තමයි අවුරුදු 75 වසරක වෙනස. මේක සාපයක් කියලා මිනිස්සුගේ ඔලුවලට දාලා මේ පිරිස බලය අරගෙන අද මොකක්ද කළ වෙනස. මොකක්ද මේ මාසයක කාලය තුළදි මේ පිරිස රට වෙනුවෙන් ගත්ත සුබවාදි තීන්දුව? අද රාජ්‍ය සේවකයින්ට පඩිය ගන්න එක පිළිබඳවත් අවිශ්වාසයක් තිබෙන තැනට පත්වෙලා තිබෙනවා. හැබැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ අති දැවැන්ත වැඩකොටසක් කරපු පක්ෂයක්. මේ මෑතක බිහිවූ ආණ්ඩුවලින් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ආණ්ඩුව තමයි විනාශකාරී ආණ්ඩුව වුණේ. හැබැයි අද ඊටත් අන්ත තත්වයට පත්වෙලා තිබෙනවා.
මේ රටට දැවැන්ත වැඩකොටසක් කරපු මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්, මේ රට ගොඩනගපු පක්ෂය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ. අපි මේ පාර්ලිමේන්තු මැතිවරණයේ අපිට ලැබෙන අවස්ථාව අපි භාවිතා කරන්නේ ආණ්ඩුව හරිමගට යවන්න. වැරදි පාරේදි අපි පෙන්වනවා වැරැද්ද මෙතන තියෙන්නේ කියලා. අපි පාර්ලිමේන්තුවේ නිකන් ඉන්න දෙන්නේ නැහැ. අපි වැඩ කරවනවා. අද මේ අත්දැකීම් නැති ලඳ බොලඳ ලාබාල මේ ඉතාම දුර්වල තත්වයේ ඉන්න ආණ්ඩුව නිවැරදි පාරක ගෙනියන්න අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුව ඇතුලේ දැවැන්ත කාර්ය භාර්යයක් කරනවා. ඒ වෙනුවෙන් අපිට ශක්තිය දෙන්න. ”

එහිදි නීතිඥ දිමිත්‍ර අබේසේකර මහතා,
“1972 සමාජවාදි ප්‍රතිපත්තින් කිහිපයක් සේනක බිබිලේ මැතිතුමන්ලා , එන්.එම්.පෙරේරා මැතිතුමන්ලා, ප්‍රමුඛ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව විසින් ලංකාවට ගෙනාවා. ඒ ප්‍රතිපත්තින් 1977 – 1993 දක්වා එකසත් ජාතික පක්ෂ ආණ්ඩුවලින් විනාශ කළා. හැබැයි අයින් කරන්න බැරි, වෙන්කරන්න බැරි ප්‍රතිපත්තීන් සහ ඒ ප්‍රතිපත්තීන් මත ඉදිරිපත් වෙච්ච ස්ථාපිත වූ ආයතන කිහිපයක් ලංකාවේ තිබුණා. නිදහස් අධ්‍යාපනය ලංකාවට C.W.W.කන්නන්ගර මැතිතුමා ගෙනාවට ඒක ඊට අවුරුදු තුනකට පෙර යෝජනාවට ගෙනාවේ එන්.එම්.පෙරේරා මැතිතුමා. ඉන්පසුව සෞඛ්‍ය සේවය, ඖෂධ නිෂ්පාදන සංස්ථා ගෙනාවේ සේනක බිබිලේ මැතිතුමා ස්ථාපිත කරපු ආයතන ඒ සියල්ල අද වන විට ඉතාමත් සීග්‍රයෙන් ශක්තිමත්කම අඩුවෙලා තිබෙනවා. තනි පක්ෂයක් මේ රටට ආණ්ඩුවක් බිහිකරාම 1976 , 88, 89 වෙනකන් 13 පාරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළා. ඒ සංශෝධනය කරන්නේ කිසිම පිළිවෙලක් නැතිව. මේ ආකාරයට ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ජනබලවේගය විසින් පොරොන්දු වෙන ආකාරයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවොත් අපේ මේ තිබෙන සමාජවාදි ක්‍රමය , අපේ සමාජවාදි ප්‍රතිපත්තීන් සහ අපේ මහජනතාවට ශක්තියක් වූ සමාජවාදයෙන් ස්ථාපිත වෙච්ච ආයතන කිහිපයක් අපිට නැති වෙනවා. එයට හොඳම උදාහරණය තමයි ජනාධිපතිධූරයට පත්වෙලා මාසයක් යන්නට පෙර මේ රටේ ත්‍රී පෝෂ සමාගමට වෙචච් දේ. මේ රටේ දැවෙන ප්‍රශ්න තිබෙන කොට මේ ආණ්ඩුවට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි හිටපු ජනාධිපතිවරුන්ට දීලා තිබෙන වරප්‍රසාද , පත්වෙන්න යන්න සිටින මන්ත්‍රීවරුන්ට තිබෙන වරප්‍රසාද පිළිබඳවයි. තර්ජනාත්මකව වගේ ජනාධිපතිතුමා ඇතුලු ජාතික ජනබලවේගයම දැන් කියන්නේ මන්ත්‍රිවරුන්ට පඩි දෙන්නේ නැහැ, වරප්‍රසාද දෙන්නේ නැහැ කියලා. පඩි නඩි, වරප්‍රසාද බලාගෙන මේ මැතිවරණයට ඉදිරිපත්වෙන්න බලාපොරොත්තු වෙච්ච අද හුඟ දෙනෙකත් විශ්‍රාම ගිහින් තිබෙනවා. හැබැයි අපි මේ ඉදිරිපත් වෙන්නේ සාමජසේවය කරපු මහජනයා වෙනුවෙන් සටන් කරපු පුද්ගලයින්. මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ කොතරම් දේවල් කරලා තිබෙනවාද? මේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගොඩනගන්න මේ රටේ නිදහස් අධ්‍යාපනය පටන් ගත්ත කාලයේ ඉදන් දියුණුවක් අපි දැක්කේ මහින්ද රාජපක්ෂ නායකත්වය යටතේ සිදුකළ මහින්දෝදය වැඩසටහන හැම පාසලකට රැගෙන යමින්. ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියපු ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු කියන්නේ පාසල් හැම එකක්ම එකහා සමාන වියයුතුයි කියලා. එකහා සමාන වෙන්න නම් ඒ සියල්ලටම නිසියාකාරව ප්‍රතිපාදන ලබාදිය යුතුයි. හැබැයි ඒ ප්‍රතිපාදන දෙන්න බැහැ හිටපු ජනාධිපතිවරයෙක්ගේ වරප්‍රසාද අඩු කළා කියලා. ඒ වගේ හරිම බාල වැඩකරන ආණ්ඩුවක් විශ්වාසයක් තබන්න පුළුවන් ද? එවෙනි සේවයක් කරපු නායකයෙක්ට ඔහොම සලකන ආණ්ඩුවක් පොදු මහා ජනතාවට කොහොම සලකයිද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා.

 

ජාතික ජනබලවේගය කියලා ඉන්න කණ්ඩායමත්, ජනතා විමුක්ති පෙරමුණ අතරත් බෙදීමක් ඇතිවෙලා. එහෙම බෙදීමක් ඇති වෙනවා නම් මාස එකාහාමාරක් ඇතුලත ඊලඟ අවුරුදු 05 කොහොම යයිද කියලා ඔබලා හිතලා බලන්න. එවැනි පසුබිමක දේශපාලන ගුන්ඩුවලට, සීනි බෝල කතා අහාලා ඡන්ද දෙන්න එපා. ප්‍රතිපත්ති බලලා මේ රටට සේවයක් කරපු හැටි බලලා ඡන්දය දෙන්න. ”යනුවෙන් මෙහිදි සඳහන් කළෝ ය.

තිලක් තේනුවර,
මාධ්‍ය අංශ ප්‍රධානි,
මාධ්‍ය මධ්‍යස්ථානය,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.