ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් උපරිම කැපවෙන බව ජනපති කියයි

මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරිපත්වූ අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීම අද සිදු කෙරුණා.

දිවුරුම් දීමේ උත්සවය පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ජනතාව ලබාදුන් ජනවරම පිළිබඳ හොදින් දන්නා තමා ඡන්ද දුන් මෙන්ම ඡන්දය නොදුන් ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට සූදානම් බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ.

අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට පැලවත්ත ජාතික ජනබලවේගයේ මූලස්ථානයෙන් පිටත්ව ගියේ අද පෙරවරුවේයි.

ජනාධිපති ලේකම් කාර්යාලයට ඒ මහතා පැමිණෙන  අවස්ථාවේ ජනතාව විශාල පිරිසක් සුබපැතීම සඳහා එක්ව සිටියා.

අනතුරුවයි දිවුරුම් දීමේ කටයුතු ආරම්භ කෙරුණේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ අනුර කුමාර දිසානායක මහතා මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා.