ඔවුන් අවසන් තුරුම්පුව ලෙස එක වේදිකාවකට පැමිණීම ගැන දැන් සාකච්ඡා කරමින් ඉන්නවා – අනුර

ජාතික ජන බලවේගයට එරෙහිව එක් වේදිකාවක් ගොඩනැගීමට පාර්ශව කිහිපයක් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

දේශපාලන පොරපිටිය පෙළගැසී ඇති ආකාරය විමර්ශනය කිරීමේදී ජාතික ජන බලවේගයට මෙය ජයග්‍රහණයෙන් කෙළවර කළ හැකි බවට සහතික බවයි අද (30) තවලවතුගොඩ ප්‍රදේශයේ පැවති හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ වන විට අනෙකුත් පාර්ශව අවසන් තුරුම්පුව එළමින් ඇති බවත් සියල්ලන්ම එක වේදිකාවකට ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භවී ඇති බවද ඔහු සඳහන් කළා.

එකම කණ්ඩායම් විවිධ පාර්ශවලට බෙදී සිටිමෙන් පරාජය සහතික වන නිසා ඔවුන් මේ වන විට ඒකාබද්ධතාවයට පැමිණීමට උත්සාහ දරමින් ඇති නමුත් මේ වන විට ඒ සඳහා ප්‍රමාද වැඩි බවයි ඔහු ප්‍රකාශ කළේ.

ජනතාවගේ අරමුණ සහ පාලකයින්ගේ අරමුණ එකක් වන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.