රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නිසි සැලැස්මක් මා සතුව තිබෙනවා

ජනතාවට සහන සැලසිය හැක්කේ මැතිවරණ ප්‍රකාශනවලින් බොරු පොරොන්දු ලබා දීමෙන් නොව, ක්‍රමානුකූලව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන්පස් වසරක සැලැස්මක් තමාට තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා එම සැලැස්ම ක්‍රියාත්මක කරන අතරතුර රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගනිමින් ආහාර මිල සහ බදු බර ද අඩු කර ජනතාවට ස්ථිර සහන සලසා දෙන බව ද පැවසුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ  මහනුවර හාරිස්පත්තුව මැතිවරණ කොට්ඨාසයේ පූජාපිටිය මාරතුගොඩ ක්‍රීඩාංගණයේ ඊයේ (27) පැවති”පුලුවන්ශ්‍රීලංකා” විජයග්‍රාහීජන රැලියට එක්වෙමින්.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා විසින් සංවිධානය කර තිබු මෙම මහජන රැළියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ප්‍රදේශයේ ජනතාව විසින් මහත් හරසරින්  පිළිගනු ලැබුවා.

එහිදී වැඩදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් මට අවුරුදු 05 ක සැලැස්මක් තිබෙනවා.

එම සැලැස්ම තුළ අපට ආහාර මිල අඩු කළ හැකියි.

ඒ වගේම තරුණ තරුණියන්ට නව රැකිය අවස්ථා උදාකර දිය හැකියි.

උරුමය සහ අස්වැසුම වැඩසටහන් හරහා ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට අප කටයුතු කරනවා.

ඒ වගේම අපනයන ආර්ථිකයක් කරා යොමුවීම අපේ සැලැස්ම වී තිබෙනවා.

මගේ මැතිවරණ ප්‍රකාශය තුළ එම සියලු කරුණු ඇතුළත් වෙනවා.

අප මේ ගමන යා යුත්තේ ක්‍රමනුකූලවයි. අපි කියන්නේ වැල් පාලමේ ගමන ඉදිරියටම ගොස් එගොඩ වෙමු කියලයි.

නමුත් විපක්ෂය කියන්නේ වැල් පාලම කපා දමනවා කියලයි.

ඔවුන් වැල් පාලම දෙපැත්තෙන්ම කපා දැමීමට සූදානම් වෙනවා.

ඒ නිසා ජනතාව නිවැරදි තීරණයක් ගත යුතුයි. මේ රට භාර ගැනීමට නොහැකි බව පවසමින් පැන දිවු පිරිසක් සමග ඉදිරියට යනවද නැත්නම් රට මෙම තත්ත්වයට ගෙනා කණ්ඩායම සමඟ ඉදිරියට යනවාද කියා ජනතාව තීරණය කළ යුතුයි.

තරුණයන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දිය යුතුයි.

ඒ වගේම ජනතාවගේ ජීවන බර තවත් අඩු විය යුතුයි. බදු බර තවත් අඩු විය යුතුයි.

නමුත්  බොරු පොරොන්දු දෙන්නේ නැතිව ක්‍රමානුකූලව එය සිදු කළ යුතුයි.

ඒ නිසයි මම ගෑස් සිලින්ඩරය මගේ ඡන්ද ලකුණ කරගත්තේ.

ගෑස් සිලින්ඩරය අවශ්‍යනම් ඊට කතිරය ගහන ලෙස මම ඉල්ලා සිටිනවා.”

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය නායක භාරත් අලුත්සාමි, එක්සත් ජාතික පක්ෂයේ  හේවාහැට ආසනයේ  සංවිධායක  ශාන්තිනී කෝංගහගේ,  එක්සත් ජාතික පක්ෂයේ මහනුවර  දිස්ත්‍රික් සංවිධායක එම් .ඉස්තිහාර්, එක්සත් ජාතික පක්ෂයේ හාරිස්පත්තුව කලාප සංවිධායක තිලක් රණසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හාරිස්පත්තුව සංවිධායක අසංග කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් ප්‍රමුඛ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.