සුදු සීනි ඉන්දියානු රතු සීනි ලෙස හැරවීමේ ජාවාරමක් වටලයි

මෙරට නිෂ්පාදිත රතු සීනි සමග ඉන්දියාවෙන් ආනයනය කරන ලද සුදු සීනි මිශ්‍ර කරමින් ඉන්දියානු රතු සීනි ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් විසින් ඊයේ (15) ඇඹිලිපිටිය ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී අදාළ ව්‍යාපාරිකයා විසින් කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට සැක කරන අතර, කිලෝග්රෑම් 50 හිස් සීනි අසුරන 2500කට අධික ප්‍රමාණයක්ද එම ස්ථානයේ තිබියදී නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා .

එමෙන්ම අදාළ හිස් අසුරන ප්‍රමාණය අනුව ඒවායේ තිබූ සීනි ඉන්දියානු රතු සීනි ලෙස සකස්කර වෙළෙඳපොළට අලෙවි කර ඇතිද යන්න සම්බන්ධව තවදුරටත් නිලධාරීන් විසින් විමර්ශන සිදු කරමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

මෙසේ කලවම් කර රතු සීනි බවට පත් කරන ලද සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 300ක පමණ මිලකට අලෙවිකර අති අතර, සුදු සීනි කිලෝවක් රුපියල් 240 බැගින් සහ රතු සීනි කිලෝවක් රුපියල් 310 බැගින් ඔවුන් මිලදීගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා .

මේ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් විමර්ශන සිදු කරන අතර, ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බවයි ඔවුන් සඳහන් කරන්නේ.