පොලිස් වෙඩි පහරින් වන අලියෙක් මරුට (Video)
දඹුල්ල – බකමූණ ප්‍රධාන මාර්ගයේ දම්පුරගම මංසන්ධියේදී බකමූණ පොලිසියේ නිළධාරින් කීපදෙනෙකු විසින් 15 වෙනදා රාත්‍රී 11.45 ට පමණ සිදු කරන ලද වෙඩි ප්‍රහාරයකින් වන අලියෙකු මියගොස් ඇති බව ඇලහැර වනජීවී කාර්යාලය පවසයි.
එම වන අලියාට වෙඩි තබා ඇත්තේ බකමූණ පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු බව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් සාන්ත මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ උස අඩි අටකින් යුත් පිරිමි වන අලියෙකු වන අතර පොලීසියට අයත් ත්‍රීවිල් රථයෙන් රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිළධාරීන් කිහිපදෙනාට වන අලියා පහරදීමට යෑමෙදී පොලිස් නිළධාරීන් ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවට වෙඩි තබා ඇත.
වන අලියාට වෙඩි තැබූ පොලිස් නිලධාරීන් කිහිප දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා බකමූණ පොලිසියට තමන් ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් ගිය මොහොතේදී එහි පොලිස් ස්ථානාධිපතිවරයා වන අලියාට වෙඩි තබා ඇත්තේ, මුර සංචාරයේ යෙදුන පොලිස් නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා බව ප්‍රකාශ කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවද ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් ශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා බකමූණ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් 16 වෙනිදා කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවද සුනිල් මහතා කීවේය.
වන අලියාට පොලිසියෙන් වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව අප බකමූණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් බොලුකඳුර මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා අදාළ පොලිස් නිලධාරීන් කීපදෙනා 16 වෙනිදා ඇළහැර අඩවි ආරක්ෂක කාර්යාලයට භාරදීමට කටයුතු කරන බවයි.
වෙඩි ප්‍රහාරයෙන් මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කළුගුආරච්චි මහතා ඇතුළු වනජීවි නිලධාරීන් විසින් 16 වෙනිදා දහවල් සිදුකිරීමට නියමිත බවද ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් ශාන්ත මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය.
දුලංජලා අබේසිංහ දෙහිඅත්තකන්ඩිය