අල්ලස් ගත් සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට

පොළොන්නරුව මැදිරිගිරිය මීගස්වැව ගොවි සංවිධාන ලේකම්වරයාගෙන් 14 වෙනිදා රුපියල් 10,000 ක අල්ලසක් ගත්, කිඹුලාවල සිවිල් ආරක්ෂක කඳවුරේ නිකහේන කෘෂි ව්‍යාපෘතියට අනුයුක්තව රාජකාරිය කරනු ලබන සිවිල් ආරක්ෂක භටයෙකුට අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.

මැදිරිගිරිය ග්‍රාමීය සංවර්ධන බැංකුව අසලදී අදාල සිවිල් ආරක්ෂකයා මෙම අල්ලස් මුදල ලේකම්වරයාගෙන් ලබාගෙන ඇති අතර ඔහු 46 වියති පතොක්වැව මීගස්වැව ලිපිනයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ කමල් දිසානායක යන අය බව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීමට පැමිණි නිලධාරීන් සඳහන් කළහ.

මීගස්වැව පොලිස් වසමේ ගල්අන්දවල වැව් බැම්මේ නඩත්තු කටයුත්තක් සඳහා කොන්ත්‍රාත්තුව සිදු කරන ලද පුද්ගලයා වන
අඹගස්වැව පදිංචි දුමිත් යන අයගෙන් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළහ.

අල්ලස් හා දුෂණ විමර්ශන විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතා ඇතුලු නිලධාරින්  කණ්ඩායමක් විසින්, සිවිල් ආරක්ෂක භටයා  අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක භටයා හිඟුරක්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර, ඔහු 15 වෙනිදා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව හිඟුරක්ගොඩ පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේය.

දුලංජලා අබේසිංහ දෙහිඅත්තකණ්ඩිය