වසර 128කට පසු ඔලිම්පික් උළෙලට නැවතත් එන ක්‍රිකට්

2028 ලොස් ඇන්ජලීස්හි පැවැත්වීමට නියමිත මීළග ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ඇතුළත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, වසර 128කට පසුවයි.

1896 ඇතැන්ස්හි පැවති ඔලිම්පික් උළෙලේ ලැයිස්තුගත ක්‍රීඩා අතරට ක්‍රිකට් ක්‍රීඩාව නම් කරන ලද නමුත් එය ඉදිරියට ගෙන යාමට නොහැකිව ඇත්තේ සීමිත කණ්ඩායම් ප්‍රමාණයක් සිටි නිසා බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

1900 දී පැරිසියේ පැවති ඔලිම්පික් උළලේදී ප්‍රථම වරට ක්‍රිකට් තරග පවත්වා ඇත්තේ ප්‍රංශය සහ එංගලන්තය අතරයි.

එහිදී ලකුණු 158කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා.

ජයග්‍රාහක එංගලන්ත කණ්ඩායමට එහිදී රිදී පදක්කමක් සහ ප්‍රංශයට ලෝකඩ පදක්කමක් ප්‍රදානය කර ඇති අතර, පසු කාලීනව එම පදක්කම් රන් සහ රිදී බවට පරිවර්තනය කර තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

එහෙත් ඉන් පසුව ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙල සඳහා ඇතුළත් වී නොමැත.

මේ අතර, baseball/softball, flag football, lacrosse (sixes) සහ squash යන ක්‍රීඩාවන් ද 2028 ඔලිම්පික් ක්‍රීඩාවන්ට ඇතුළත් කිරීමට නියමිත බව ද වාර්තා වෙනවා.