අමෙරිකාවේ මැක්ලවුලින් තමන්ගේම ලෝක වාර්තාව බිඳියි

අමෙරිකානු ජාතික 25 හැවිරිදි සිඩ්නි මැක්ලවුලින්-ලෙව්රෝන් ඊයේ (08) පැවති පැරිස් ඔලිම්පික් මීටර් 400 කඩුලු මතින් දිවීමේ අවසන් මහා තරගය තත්පර 50.37කින් අවසන් කර ඇයගේම ලෝක වාර්තාව බිඳ දමා නව ලෝක වාර්තාවක් පිහිවුවා තිබෙනවා.

එහිදී අමෙරිකානු ජාතික ඇනා කොක්‍රෙල් තත්පර 51.87ක් වාර්තා කර රිදී පදක්කම දිනාගත් අතර, නෙදර්ලන්ත ජාතික ෆෙම්කේ බෝල් 52.15කින් තෙවැනි ස්ථානය දිනාගෙන තිබෙනවා.

ටෝකියෝහි දී බාධක දිවීමේ සහ මීටර් 4×400 සහය දිවීමේ ඉසව්වෙන් පසු මෙය ඇයගේ තෙවැනි ඔලිම්පික් රන් පදක්කමයි.

මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ තත්පර 52 සහ තත්පර 51 බාධක දෙකම බිඳ දැමූ පළමු කාන්තාව ඇයවන අතර, මාස 13ක කාලයක් තුළ ලෝක වාර්තාව හතර වතාවක් බිඳ දමා තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, පළමු වරට 2021 ජුනි මාසයේදී ඇය තත්පර 52ක බාධකය තත්පර 51.9කින් බිඳ දමා තිබෙනවා.

එම වසරේම ටෝකියෝ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී දෙවන වරටත් ඇය තත්පර 51.46කින් අවසන් කරමින් පෙර රන් පදක්කම්ලාභී ඩෙලිලා මුහම්මද්ව පරාජය කළාය.

ඇය 2024 ජූනි මස අමෙරිකානු ඔලිම්පික් පුහුණුවීම්වලදී තත්පර 50.65ක කාලයකින් ඇගේම ලෝක වාර්තාව බිඳ දමා තිබෙනවා.

ඉන් අනතුරුවයි ඊයේ පැවති තරගයේදී ඇය නව ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ.