අස්න්න නෙළීමේදී පොළොන්නරුව ගොවීන් දැඩි ඇසුරුතාවයට

ඩීසල් මිල අඩු වුවද යන්ත්‍ර සූත්‍ර හිමිකරුවන් අක්කර දෙකහමාරක වී නෙළීමට රුපියල් 45,000 ත් 50,000 ත් අතර මුදලක් ලබාගැනීමෙන්  ගොවීන් දැඩි ඇසුරුතාවයට පත්ව ඇති බව, පොළොන්නරුව ඇතුළු මහවැලි බී හා සි කලාප වල ගොවි සංවිධාන නියෝජිතයින් සඳහන් කරති.

පිටස්තරින් පැමිණෙන ”සුනාමි, භූතයා” නමින්  හැඳින්වෙන යන්ත්‍ර සූත්‍ර හිමිකරුවන් අක්කර දෙකහමාරක වී අසවැන්නක් නෙළීමේදී ප්‍රදේශයේ ඇතැම් ජාවාරම්කරුවන් බ්‍රෝකර් ගාස්තු වශයෙන් රුපියල් 5000ක මුදලක් තබාගැනීම පිරිසක් ජාවාරමක් කරගෙන ඇති බවද ගොවි නියෝජිතයින් පෙන්වා දෙති.

මඩකලපුව,අම්පාර,ත්‍රිකුණාමලය ඇතුළු විවිධ ප්‍රදේශවලින් වී අස්වනු නෙළීමට යන්ත්‍ර සූත්‍ර විශාල වශයෙන් මේ දිනවල පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සී කලාප වලට පැමිණෙමින් තිබේ.

වී අස්වනු නෙළීමේදී පාලන මිලක් ඇති කිරීම සඳහා පසුගිය මහ කන්නයේ මහවැලි බි කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් හා යන්ත්‍ර සූත්‍ර හිමිකරුවන් අතර ගිවිසුමක් අත්සන් කර ගත්තද එම ගිවිසුම මෙතෙක් ක්‍රියාත්මක නොවන අතර යන්ත්‍ර සූත්‍ර හිමිකරුවන් ප්‍රදේශයේ ජාවාරම්කරුවන් අල්ලා ගනිමින් මේ වනවිට අක්කර දෙකහමාරක වී අස්වනු නෙළීමට එවැනි විශාල මුදලක් අයකර ගැනීම පිළිබඳව සොයා බලා ඊට සාධාරණයක් ඉටු කරදෙන ලෙස ද ගොවි සංවිධාන නියෝජිතයෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ අතර පොළොන්නරුව ඇතුළු මහවැලි  බී හා සී කලාපවල වී අස්වනු නෙලීම සඳහා යන්ත්‍ර සූත්‍රවල හිඟයක් පවතින බවද ගොවි නියෝජිතයින් පෙන්වා දෙති.

-දුලංජලා අබේසිංහ දෙහිඅත්තකණ්ඩිය