අඩුම කාර්ය සාධනයක් සහිත රාජ්‍ය ආයතන දෙක මෙන්න
ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අප්‍රසාදය පළ විය.
මේ පිළිබඳ අවධානය යොමු වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජූලි 23) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ කෝපා කාරක සභාව විසින් තම විෂය පථයට අයත් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය සම්බන්ධයෙන් දත්ත පද්ධතියක් පවත්වාගෙන යන බවත් එම දත්ත අනුව අඩුම කාර්ය සාධනයක් සහිත ආයතන දෙක බවට ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව හඳුනාගෙන ඇති බවයි. මේ නිසා මෙම ආයතන දෙකම එක් දිනයකදී මෙම කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කළ බවත් මෙහිදී කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අනුව ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ 2020 සහ 2021 මූල්‍ය වර්ෂවල හා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ 2018,2019,2020,2021 සහ 2022 මූල්‍ය වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ මෙහිදී පරීක්ෂා කිරීම සිදු විය.
මෙහිදී ඉදිකිරීම් සඳහා ගොඩනැගිලි ගාස්තු උපලේඛනය (BSR) සකස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ගොඩනැගිලි දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරෙන බවත් එය නිසියාකාරව ඉටු වන්නේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් මෙහිදී කාරක සභාව නිලධාරීන්ට පෙන්වා දුන්නේය. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ඕනෑම රාජ්‍ය ආයතයකට මෙම සේවාව ගොඩනැගිලි දෙපාර්තමේන්තුව හරහා ලබාගත හැකි බව සඳහන් වන බවත් ඒ අනුව සේවාව ඉල්ලා සිටින පාර්ශ්ව සඳහා සේවාව ලබාදෙන බවත්ය. නමුත් මෙම සේවාව අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බවට කිසිඳු මගපෙන්වීමක් තම ආයතනයට ලැබී නැති බව ඔවුන් පෙන්වා දුන්නේය. මේ අනුව මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට මාසයක් ඇතුළත යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන ලෙස කෝපා කාරක සභාව මෙහිදී නිලධාරීන්ට නිර්දේශ කළේය.
එසේම ආයුර්වේද දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවල සඳහන් කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ අතර මෙම ආයතන දෙකේම කාර්ය සාධනය සම්බන්ධයෙන් කාරක සභාවේ අප්‍රසාදය පළ විය.
මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. ශ්‍රීතරන්, ජේ.සී. අලවතුවල, මධුර විතානගේ සහ (ආචාර්ය) හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.