වැලිකන්ද මහින්දාගම අක්කර හැටක් ඩෝසර් කරන මහා පරිමාණ වන විනාශය

වැලිකන්ද මහින්දාගම ප්‍රදේශයේ අක්කර හැටකින් යුත්, වීර, පලු, වෙලං, ඇතුළු වටිනා ගස් වර්ග ඩෝසර්කර සිදුකරන, මහා පරිමාණ විනාශය පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සිදුකර එම වන සංහාරය වහාම නැවතීමට පියවර ගන්නා ලෙස තමන් ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් මෙන්ම මහවැලි විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව වැලිකන්ද මහින්දාගම ගොවි සංවිධාන නියෝජිතයින් මෙන්ම ගොවීන් ඇතුළු මහා සංඝරත්නය සඳහන් කළහ.

වසර පහ හයක් තිස්සේ වගා කරන ලද වර්ෂාපෝෂිත ඉඩම්, ඉරිගු බිම්,හා කුඩා වැවක්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය මගින් සෝලා ව්‍යාපෘතියකට ලබාදීමෙන් තමන්ට දැඩි බලපෑමක් හා අසාධාරණයක් එල්ල වී ඇති බවට චෝදනා කරමින් මහින්දාගම ගම්වාසීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් පැවසූහ.

ඉඩම් බැහැර කිරීම ජනාධිපතිවරයා විසින් තහනම් කර තිබෙන වකවානුවක අක්කර හැටකින් යුත් වෙළං, පලු, වීර,ගස් ඩෝසර් කරමින් සිදු කරන මෙම මහා පරිමාණ වන සංහාරයෙන් එහි සිටින වන අලින් මෙන්ම සතා සිවුපාවන් ගම්වදින බවද ගොවීන් කියති.

තම ගම්වාසීන් විසින්ම ඉදි කරන ලද කුඩා වැවක් ද වනසා දිවා, රාත්‍රී සිදු කරන මෙම මහා පරිමාණ විනාශය සම්බන්ධව බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පුදුමයට කරුණක් බවද මේ පිළිබඳ අදහස් දැක් වු කවුඩාගල ආරණ්‍ය සේනාසනාධිපති දේවගල පඤ්ඤාසිහලංකාර නාහිමියන් සඳහන් කළහ.

2021 හා 2022 වර්ෂයේ මෙම ඉඩම්වල බඩ ඉරිඟු වගා කිරීම සඳහා ශ්‍රී ලංකා ලංකා මහවැලි අධිකාරියෙන් තමන්ට අවසර ලබා දුන් බවත්, ඊට අමතරව ප්‍රදේශයේ කුඹුරු ඉඩම් නොමැති පවුල් සඳහා වර්ෂාපෝෂිත ඉඩම් ලෙස නම් කර වී වගා කිරීමට අවසර දුන් බවත්, ඉන් අනතුරුව සතියකට පෙර මෙම ඉඩම් අක්කර හැටක කොටසක් සෝලා ව්‍යාපෘතියකට ලබාදීම තුළින් තමන්ට එම ඉඩම් අහිමි වී ඇති බවද ගොවින් සඳහන් කරති.

සෝලා ව්‍යාපෘතියේ හිමිකරුවන් විසින් තමන් වසර ගණනාවක් දුක් මහන්සි වී හදාගත් නියරවල් මෙන්ම ගම්වාසීන් විසින් නිර්මාණය කරන ලද වැවක් ඩෝසර් වලින් විනාශ කර ඇති බවත්, ඒ අවට වටිනා ශාක වර්ග ගස් ඉතා දැමීමෙන් වන අලි ගම් වැදීමට පටන්ගෙන ඇති බවත්, මීට අමතරව ප්‍රදේශය කාන්තාරයක් බවට පත්කර ඇති බවද ගම්මුන් පවසති.

අප මේ පිළිබඳව ‍ශ්‍රී ලංකා මහවැලි බි කලාපීය නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර [ ඉඩම් ] ප්‍රභාත් බැද්දේගම මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි සඳහන් කළේ 2017 වර්ෂයේ දී අක්කර හැටකින් යුත් භූමි ප්‍රමාණයක්, ඉඩම් ලබාදීම ආඥා පනත යටතේ නීත්‍යනුකූලව අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතියකින්, බදු ගෙවීමේ පදනම මත අදාළ විෂය භාර අමාත්‍යවරයා  නිර්දේශය අනුව සෝලා ව්‍යාපෘතියකට එම ඉඩම ලබාදී ඇති බවත්, පුරාවිද්‍යා සහ පරිසර වාර්තාවක් ලබාගන්නා තුරු වසර හතක කාලයක් සෝලා ව්‍යාපෘති නිලධාරීන්ට ඒ තුළට ඇතුළත් වීමට අවසර ලබානොදුන් බවත්, ඒ අනුව මේ වෙනවිට අදාළ වාර්තාවන් හා ලිය කියවිලි ලබාගැනීමෙන් අනතුරුව එම නිලධාරීන්ට ඉඩමට ඇතුළත් වීමට අවසර ලබාදී ඇති බවයි.

  • මනම්පිටිය නිමල් ජයරත්න