8 වසරේ පුතාගේ සාක්කුවේ කේරළ ගංජා

මුලතිව් ප්‍රදේශයේ පාසලක අටවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුගේ සාක්කුවක තිබී කේරළ ගංජා මිටියක් හමු වී තිබෙනවා.

මෙම සිසුවාගේ සාක්කුවේ කේරළ ගංජා මිටියක් තිබෙනු දුටු විදුහලේ ශිෂ්‍ය නායකයින් ඒ බව විදුහල්පතිවරයාට දැනුම් දී ඇති අතර අදාළ විදුහල්පතිවරයා මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ ශිෂ්‍යාගෙන් ඉතා සුහදව පැය ගණනක් තිස්සේ ප්‍රශ්න කර ඇති අතර එහිදී කුඩා ශිෂ්‍යයාගේ දිගින් දිගටම පවසා ඇත්තේ තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.

පොලිස් නිලධාරීන් අදාළ ශිෂ්‍යයාව පාසලේ තබා ඔහුගේ නිවසට ගොස් නිවස පරීක්ෂා කිරීමේදී නිවස තුළ තිබී එවැනිම කේරළ ගංජා මිටි කිහිපයක් හමු වී තිබෙනවා.

තවදුරටත් ඒ පිළිබදව කළ සොයා බැලීමකදී පොලිස් නිලධාරීන්ට හෙළි වී ඇත්තේ නිවසේ කාන්තාව කේරළ ගංජා විකිණීම ජීවනෝපායක් ලෙස කරගෙන යන බවයි.

ශිෂ්‍යයාගේ කලිසම් සාක්කුවට කිසියම් හෝ වැරදීමකින් මෙම කේරළ ගංජා මිටියක් යාම නිසා ශිෂ්‍යයා අනවශ්‍ය ප්‍රශ්නයකට මූණ දී ඇති බව පොලිස් නිලධාරීන්ට වැටහී ගොස් තිබෙනවා.

ඒ අනුව නිවසේ කාන්තව පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සැකකාර කාන්තාව හා කේරළ ගංජා තොගය මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.